සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1238

මිටිසහල්

නා.ප්‍ර. මිටින් ගත හැකි ප්‍රමාණයක සහල් ; දිනපතා මිට බැගින් පිනට දීමට එකතු කරන හාල් ප්‍රමාණය.

මිටුපොරය

(නව.) නා. බොක්සින් ක්‍රීඩාව.

මිටුසක්

නා.ප්‍ර. ඇඟිලි එකතු වන සේ ඔසවා ගත් දෙ අත ; අභිවාදනය සඳහා නැඟූ දෝත.

මිඩංගු

1. වි. යෙදුණු ; නියුක්ත වූ ; ගත කළා වූ.
2. ප්‍රමාද වූ ; පරක්කු වූ.

මිඩි කරනවා

ක්‍රි. දාසි භාවයට පත් කරනවා ; මෙහෙකාරියක බවට පත් කරනවා ; සේවිකාවක කරනවා.

මිඩිය

1. නා. හිස මුඩු කළ තැනැත්තිය.
2. වහල් ස්ත්‍රිය ; දාසිය ; මෙහෙකාරිය.

මිණි

වි. මැණිකෙන් කළා වූ ; මාණික්‍යමය.
1. නා.ප්‍ර. මැණික් ගල ; මාණික්‍යය ; මුතුමැණික් ආදි රත්න.
2. ඉන්ද්‍රනීල මාණික්‍යය.
3. විශාල සැළිය.
4. මල් කොපුව ; මණිය ; මණිබද්ධය.
5. ශ්‍රවණය.
6. සූර්යයා.
7. ප්‍රදීපය.
8. රථයේ කූඩුව.

මිණි අකුසු

නා.ප්‍ර. මැණිකෙන් කළ අංකුශය ; මැණික් ඔබ්බා අලංකාර කළ අංකුශය ; හෙණ්ඩුව.

මිණි ආර

නා.ප්‍ර. මැණික් ආකරය ; මැණික් උපදනා හෝ මැණික්වලින් ගහන ස්ථානය.

මිණි ඇගෑ

නා.ප්‍ර. රුවන්තොරණ ; මැණික්වලින් සැරසූ තොරණ.

මිණි කවද

1. නා.ප්‍ර. මැණික්වලින් අලංකාර කොට තැනූ ශරීර ආවරණය.
2. මාණික්‍ය සන්නාහය.

මිණි කොඩොල

නා. මැණික් ගල් ඇල්ලූ කුණ්ඩලාභරණය.

මිණි දඬු වැට

1. නා.ප්‍ර. මාණික්‍යමය මිටක් සහිත පන්දම.
2. ශක්‍රභවන වටා මැණික් ඔබ්බවා නිර්මාණය වී ඇතැයි සලකනු ලබන වැට.

මිණිකිකිණි

1. නා.ප්‍ර. කුඩා මැණික් සීනු.
2. මිණි කිංකිණි ; නොයෙක් ප්‍රමාණයේ කුඩා සීනු.

මිණිකිරුළ

නා. මැණික් ඔබ්බවා කළ ඔටුන්න.

මිණිකොත්

නා.ප්‍ර. මාණික්‍යමය කොත් කැරැල්ල.

මිණිගිගිරි

1. නා.ප්‍ර. ගෙජ්ජිය ; කුඩා සීනුව.
2. ගෙජ්ජි හඬ ; කුඩා සීනු හඬ.

මිණිගෙඩිය

නා. කුඩා සීනුව ; ගෙජ්ජිය.

මිණිතර

නා.ප්‍ර. මාණික්‍ය රශ්මිය.

මිණිදැදිරි

වි. පිපුණු ; ප්‍රබුද්ධ වූ.

මිණිපලග

නා.ප්‍ර. මැණික්වලින් විසිතුරු කළ පුටුව.

මිණිපහ

නා.ප්‍ර. මැණික් පාය ; මණි ප්‍රාසාදය.

මිණිපහණ

නා. මැණික් ගල ; මාණික්‍ය පාෂාණය.

මිණිබහන

නා. අතේ මැණික් කටුව ; මණි බන්ධය.