සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1239

මිණිමුතු

1. වි. මණිමුක්ත වුණු ; ප්‍රබුද්ධ වූ ; පිපුණු ; විකසිත.
2. මැණික් සහ මුතු.

මිණිමුතු වෙනවා

ක්‍රි. විකසිත වෙනවා ; පිබිදෙනවා.

මිණිමෙවුල

නා. මණිමේඛලාව ; පුරාණ කාන්තාවන් ඉන බැඳි මාණික්‍යමය ආභරණයක්.

මිණිය

නා. සීනුව ; කුඩා ඝණ්ටාව ; මිණිගෙඩිය.

මිණිවට

1. නා.ප්‍ර. වටකුරු වූ මැණික.
2. ප්‍රදීපය ; මිණිපහන.

මිණිවහණ

නා. යමක් මැදීමට උපකාරි කරගනු ලබන පළිගු ගල.

මිණී කාලම

නා. මැණික් හොරණෑව.

මිණුම් දණ්ඩ

1. නා. දිග මැනීම සඳහා ගැනෙන කෝදුව.
2. යමක අගය.

මිත

1. වි. මනින ලද ; ප්‍රමාණ කළ.
2. සීමාසහිත ; සීමිත බෙදීම් ඇති ; භාගයක් දුරට බෙදීගිය.

මිතපක්ෂ

(පාරිභා.) වි. (උද්භි.) අඩක් පක්ෂව බෙදුණු.

මිතපාණී

(පාරිභා.) නා.ප්‍ර. (උද්භි.) අර්ධ වශයෙන් අතක ඇඟිලි මෙන් සෑදී තිබෙන පත්‍රය.

මිතභාණී

වි. විමසිලි සහිතව ප්‍රමාණයකට කථා කරන ; සීමිතව කථා කරන.
නා.ප්‍ර. ප්‍රමාණයට කථා කරන පුද්ගලයා ; සීමිතව කථා කරන තැනැත්තා.

මිතභෝජි

වි. පමණ දැන අනුභව කරන.

මිතවාදී

වි. පමණ දැන ක්‍රියා කරන.

මිතශ්‍රැති

වි. අවශ්‍ය ම දේ පමණක් අහන.

මිතස්ථායී

(පාරිභා.) වි. (රසා.) ස්ථායී හෝ අස්ථායී තත්ත්වයට පහසුවෙන් පෙරළෙන.

මිතස්ථායී කලාපය

(පාරිභා.) නා. ඝන, ද්‍රව, වායු වශයෙන් පවතින යම් වස්තුවක් කිසියම් තත්ත්වයක් යටතේ අස්ථිර ව පැවතීම.

මිත්

නා.ප්‍ර. යහළුවා ; මිත්‍රයා.

මිත්තණිය

නා. මවගේ හෝ පියා ගේ හෝ මව ; අත්තා ; අත්තම්මා ; ආත්තා ; ආත්තම්මා.

මිත්‍ර

වි. යහළු ; හිතෛෂි.

මිත්‍ර ධර්මය

නා. තම මිත්‍රයාගේ දුකෙහි දී පිහිට වීම හා සැපෙහි දී සතුටු වීම.

මිත්‍ර ප්‍රතිරූපකයා

නා. මිතුරකුගේ ස්වරූපයෙන් පෙනී සිටින්නා.

මිත්‍ර ප්‍රතිලාභය

නා. මිත්‍රයන් ලැබීම ; මිතුරන් ඇසුරු කිරීමට ලැබීම.