සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 129

අපරාපරියවේදනීය කර්මය

නා. යම්කිසි මතු භවයක දී විපාක විඳිය යුතු කර්මය.

අපරාමසන

නා.ප්‍ර. නොගැනීම; නොකියා හැරීම.

අපරාරම්භය

[අපර + ආරම්භය]
නා. අනෙක් කොටසේ පටන් ගැන්ම; අවසාන කොටසේ ආරම්භය.

අපරාර්ධ ගෝලය

[අපර + අර්ධගෝලය]
නා. පෘථිවිගෝලයෙහි අපරදිග භාගය.

අපරාර්ධය

නා.ප්‍ර. පසු භාගය; දෙවැනි කොටස.

අපරාව

(පාරිභා.) නා. වැදෑමහ (=placenta).

අපරාවර්තනය

නා. නැවත පසෙකට හැරීම.

අපරාහ්ණය

නා. දවසේ පසු භාගය; පස්වරු කාලය; සවස් කාලය.

අපරික්ෂිප්ත

වි. වට නොකරන ලද; වැට පවුරු ආදියකින් හාත්පසින් පරික්ෂේප නොකළ.

අපරික්ෂීණ

වි. හීන නොවූ; ක්ෂය නොවූ; නොගෙවුණු.

අපරිග්‍රහය

නා.ප්‍ර. වස්තුව පිළිබඳ තම අයිතිය අත්හැරීම.

අපරිග්‍රාහක

වි. දැඩි කොට අල්වා නොගන්නා වූ.

අපරිගෘහිත

1. වි. දැඩි කොට අල්වා නොගන්නා ලද; තරයේ නොගන්නා ලද.
2. වි. අයිතිවාසිකම් නොකියන ලද.

අපරිච්ඡින්න

ක්‍රි.වි. සීමාවක් නැති; නිම්හිම් නැති.

අපරිච්ඡේද

වි. සීමාවක් නැති; නිම්හිම් නැති.

අපරිචිතය

නා. දැන පුරුදු නැතිකම; නාඳුනන බව.

අපරිඥාත

වි. නොදත්; අවබෝධ නොකළ; ප්‍රතිවේධ නොකළ.

අපරිඥේය

නා.ප්‍ර. ඉඳුරා නොදත හැක්ක; අවබෝධ නොකළ හැක්ක.

අපරිණත

1. වි. නොවැඩුණු; නොමේරූ; නුමුහු කළ.
2. (විනය.) වි. නියත අයිතිකරුවකුට වෙන් නොකරන ලද; බෙදා වෙන් නොකරන ලද; පවරා නොදෙන ලද.

අපරිණාම

වි. වෙනස් නොවනසුලු.

අපරිත්‍යක්ත

වි. අත් නොහරින ලද; ඉවත් නොකළ.

අපරිත්‍යජනය

නා. අත්නොහැරීම; දුරු නොකිරීම.

අපරිනායක

1. වි. නායකයකු නැති; මඟ පෙන්වන්නකු නොමැති.
2. වි. තනි ව යා නොහැකි.

අපරිනිෂ්ඨිත

වි. සම්පූර්ණ නොවූ; අසම්පූර්ණ.