සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1305

යෝගි වර්ධය

(පාරිභා.) නා. කශේරුකාවල තිබෙන සන්ධාන ප්‍රසරයක්.

යෝගික පරිපාටිය

(පාරිභා.) නා. මිශ්‍ර කිරීමේ පිළිවෙළ ; මිශ්‍රණයක් සාදා ගන්නා ක්‍රමය ; මිශ්‍රණ ක්‍රමය.

යෝගියා

නා. භාවනාවෙහි යෙදෙන්නා ; යෝග අභ්‍යාසවල යෙදෙන තැනැත්තා.

යෝගීවරයා

නා. භාවනාවෙහි යෙදෙන උතුම් පුද්ගලයා ; ධ්‍යාන ලාභියා.

යෝගේශ්වරයා

නා. ශ්‍රේෂ්ඨ යෝගියා ; උතුම් යෝගාවචරයා.

යෝගෝපචාර

[යෝග + උපචාර]
නා.ප්‍ර. භාෂා රීතිවල දී දක්නට ලැබෙන උපචාර විශේෂයක් ; සම්බන්ධ වූ දෙය ප්‍රභේදයෙන් සැලකීම.

යෝජකය

(පාරිභා.) නා. අවයව දෙකක් එකට ගළපන හෝ යා කරන අවයවය.

යෝජකයා

1. නා. යොදන්නා ; ගළපන්නා.
2. (සමිති රැස්වීමකදී) යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන තැනැත්තා ; යෝජනාකරු ; යෝජක තැන.

යෝජන

1. නා.ප්‍ර. යොදුන ; ගව් සතරක දුර ප්‍රමාණය.
2. සන්ධි කිරීම.

යෝජනය

1. නා. (පද පිළිවෙළ) යෙදීම ; (පද) ප්‍රයුක්තිය.
2. පණත ; ප්‍රඥප්තිය.

යෝජනා කරනවා

ක්‍රි. ක්‍රියාත්මක කිරීම සඳහා යම් කරුණක් ඉදිරිපත් කරනවා.

යෝජනා පත්‍රය

නා. ඉදිරිපත් කරනු ලබන කරුණු ඇතුළත් වන ආකෘති පත්‍රය ; යෝජනා ක්‍රම අන්තර්ගත කළ පත්‍රිකාව.

යෝජනාව

නා. යම් කාර්යයක් ඉටු කිරීමේ ලා ගත යුතු පියවර පොදු සම්මුතිය සඳහා ඉදිරිපත් කිරීම ; සැලකිල්ලට යොමු කරවන අදහස ; ක්‍රියා කිරීම සඳහා ඉදිරිපත් කර සිටි කාරණය.

යෝජිත

වි. යෙදුණු ; යෙදුණා වූ ; යොදන ලද ; යෝජනය කරන ලද.

යෝජිතය

නා. යෝජනා කරන ලද කාරණය ; සභා සම්මත කළ යෝජනාව.

යෝත්‍ර

නා.ප්‍ර. යොත ; රැහැන.

යෝද

වි. ලොකු ; මහත් ; විශාල ; ශක්ති සම්පන්න.

යෝදර

වි. මහත් ; දරුණු ; බලවත්.

යෝධයා

1. නා. ශක්ති සම්පන්න පුරුෂයා උස මහත ඇති පුද්ගලයා.
2. සෙබළා ; යුද්ධ භටයා.

යෝන

1. නා.ප්‍ර. තරුණිය.
2. තාරුණ්‍යය.

යෝනි මාර්ගය

නා. ගර්භාෂයත් යෝනි මුඛයත් සම්බන්ධ වන නළය.

යෝනි මුඛය

නා. යෝනියේ බාහිර විවෘත කෙළවර ; යෝනි මඟට ඇති දොර.

යෝනිය

1. නා. ස්ත්‍රී නිමිත්ත ; ස්ත්‍රී විහ්නය.
2. සත්ත්වයා උත්පත්තිය ලබන තිරිසන් ප්‍රේත ආදී ආත්මභාවය ; ජාතිය.
3. ආරම්භය ; උල්පත ; මුල ; පටන්ගැන්ම.