සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1320

රථකැවිටි

නා.ප්‍ර. රථයේ බැඳි ගවාදි සතුන් දක්කන කෝටුව ; කෙවිට.

රථකොටුව

නා. රියේ කූඩුව ; රිය මැදිරිය ; රථ පඤ්ජරය.

රථගත

වි. රියේ බඳින ලද ; රථයේ යෙදූ.

රථණිය

නා. සිව්රඟ සේනාව අතුරින් එකක් ; රථ හමුදාව

රථත්තරණය

නා. රියේ අතුරා ඇති ඇතිරිල්ල.

රථදණ්ඩකය

නා. ඒරිය කඳ ; වියගහ.

රථධූරය

නා. රිය අඳින සතාගේ කරට බඳින දණ්ඩ.

රථපඤ්ජරය

නා. රියේ ඉඳගැනීම සඳහා ඇති ඉඩකඩ සහිත කොටස ; රිය මැදිරිය.

රථපවර

නා.ප්‍ර. රිය සෙනඟෙහි සිට යුද්ධ කරන්නන් අතරෙන් උත්තමයා ; රථෝත්තමයා ; රිය දෙටුවා.

රථරේණුව

1. නා. පැරණි දුර මැනීමේ ඒකකයක්.
2. රථරෝද බිම ගෑවීමෙන් ඇතිවන ධූලිය.

රථවිය

නා.ප්‍ර. කර‍ත්තයේ වියගහ ; වියදණ්ඩ.

රථසරම

නා. රථයේ නැගී දක්වන යුද්ධ පුහුණුව ; රියසේනාවෙන් දක්වන යුද්ධ අභ්‍යාස.

රථ්‍යය

නා. රිය ; රථය.

රථ්‍යයා

නා. රියේ බැඳි අශ්වයා.

රථ්‍යාව

1. නා. රිය සමූහය ; රථ හමුදාව.
2. මංසන්ධිය.
3. රිය මග.
4. කරත්ත පාර.

රථිකාව

නා. රිය ගමන් කරන මඟ ; වීථිය.

රථේසභ

[රථ + ඊසභ]
නා.ප්‍ර. රථ සේනාවේ ප්‍රධානයා ; රජතුමා.

රද

1. නා. රජ ; රාජයා ; නරේන්ද්‍රයා.
2. ක්ෂත්‍රියයා ; රාජවංශිකයා.
3. රාජ්‍යය ; රජය.
4. පෙළ ; පඞ්ක්තිය ; රොද ; සමූහය.
5. ධූලි ; රජස් ; රදස්.
6. රේණු ; රොන්.
7. දත ; දළ ; තුඩ.
8. රන්ඩ්‍රය ; සිදුර ; පැළුම.
9. රශ්මිය ; කාන්තිය.
10. චන්ද්‍රයා ; සඳ.
11. ලේ ; රුධිරය.
12. රත් පැහැය.
13. අඳුන්.
14. වේදනාව ; රුජාව.
15. කඹය ; නූල ; යොත.

රද කුල

නා. රාජ කුලය.

රද ගෙය

නා. රාජ ගෘහය ; රජ මාළිගාව.

රද දූ

නා.ප්‍ර. රජුගේ දූ කුමරිය ; රාජ දුහිතෘව.

රද මොහොල්

නා.ප්‍ර. ජල පාලනය සඳහා වැවක බිසෝ කොටුවෙහි යොදන ලද උපකරණයක්.

රදගුරු

නා.ප්‍ර. කතෝලික සභාවේ උසස් පූජකවරයෙක් ; රාජ ගුරු.

රදන

නා. දත ; දන්තය.