සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1324

රන් කප

(කථා.) නා. දෙවියත් උදෙසා කැප කෙරෙන යාග මඩුව තැනීමට ආරම්භයක් වශයෙන් ශුභ නැකතකින් සිටුවන මංගල සම්මත කණුව.

රන් රුවන්

නා.ප්‍ර. රත්තරන් සහ මැණික් ; ස්වර්ණ මාණික්‍යය.

රන් සංචිතය

(පාරිභා.) නා. මධ්‍යම බැංකුවෙහි තැන්පත් කොට ඇති රන් ප්‍රමාණය.

රන්ඔක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. රසායනික සුනු විශේෂයක්.

රන්කරල

නා. පැසුණු ගොයම් කරල ; වී කරල.

රන්කරල් මංගල්‍යය

නා. ගොයම් කැපීම සම්බන්ධයෙන් චාරිත්‍රානුකූලව පවත්වනු ලබන උත්සවය.

රන්කරුවා

නා. රන් අබරණ තනන්නා ; රාජ්‍ය භාණ්ඩාගාරයේ වන්නකු පුරුෂයා.

රන්කසු

නා.ප්‍ර. රන් කාචය ; ස්වර්ණ සන්නාහය.

රන්කසුකම්

නා.ප්‍ර. රනින් කරන කැටයම ; රන් නූලෙන් කරන සැරසිල්ල.

රන්කාසි

නා.ප්‍ර. ස්වර්ණයෙහි කළ කාසිය ; රන්මිල.

රන්කිරි කටගානවා

ක්‍රි. දරුවකු උපන් ඇසිල්ලේ තනකිරි, මී පැණි, ගිතෙල් හා රන් මුසුකොට ඊතණ හෝ බැලතණ හෝ යොදා එම දරුවාගේ මුවෙහි තවරනවා.

රන්කුඩු

නා.ප්‍ර. රන් පැහැති සායමක් සාදා ගන්නා සුණු විශේෂයක් ; රසායනික සුණු විශේෂයක්.

රන්ගැබ

නා.ප්‍ර. මහාබ්‍රහ්මයා ; මහබඹු.

රන්ගිරි

නා.ප්‍ර. මහමේරු පර්වතය.

රන්චිකිත්සාව

(පාරිභා.) නා. රත්රන් උපයෝගී කරගෙන කරන වෙදකම.

රන්තුල්‍යතාව

(පාරිභා.) නා. රන්වලට ඇති සමාන බව ; රන් හා සම බව.

රන්ද

(කථා.) නා.ප්‍ර. යමක් ගෙවී හෝ දිරා හෝ යන කල අවසානයට ඉතිරි වන තද කොටස.

රන්දකය

(පාරිභා.) (පාරිභා.) නා. යම්කිසිවක් රඳවා තබන උපකරණය ; ධාරකය.

රන්දාරා

නා.ප්‍ර. රනින් කළ හොරණෑ විශේෂයක්.

රන්දෙණ

නා. (මළ සිරුරු තැන්පත් කිරීම සඳහා) රනින් කළ ඔරුව ; රන්මුවා දෙණ ; ස්වර්ණ ද්‍රෝණිය.

රන්දෙණේ ගාථා

නා.ප්‍ර. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන අවස්ථාවේ දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් දෙසූ ගාථා පන්තිය.

රන්දෝලි පෙරහැර

නා. මහනුවර ඇසළ පෙරහැර සමයේ අවසන් සතියේදී පැවැත්වෙන මහ පෙරහැර ; රන්දෝලිය රැගෙන වීදි සංචාරය කරන පෙරහැර.

රන්දෝලිය

1. නා. රනින් විසිතුරු කළ දෝලාව.
2. මහනුවර යුගයෙහි රජවරුන්ගේ අග බිසෝවරුන් හඳුන්වන නාමයක් ; අග්‍ර මහේසිකාව.

රන්ධ්‍රය

1. නා. පැළුම ; සිදුර ; කුහරය ; ගුළ.
2. වරද ; අඩුපාඩුව ; පළුද්ද.
3. (පාරිභා.) කපාලය මුදුනෙහි තිබෙන හිස් තැනක්.
වි. (පාරිභා.) ජලක්ලෝම පැළුම පිළිබඳ වූ.