සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1341

රාජ මන්දිරය

නා. රාජ මාළිගය.

රාජ මහිලාව

නා. රාජ වංශික ස්ත්‍රිය ; රාජ කාන්තාව.

රාජ මහීෂි

1. නා.ප්‍ර. රජ බිසොව ; රජුගේ මහේෂිකාව.
2. ගෘහ නිර්මාණ ශිල්පයෙහි දැක්වෙන එක්තරා ගෘහ පරිමාණයක නාමය.

රාජ මහේසිකාව

නා. රජුගේ අග බිසොව.

රාජ මාතා

නා.ප්‍ර. රජුගේ මව්තුමිය.

රාජ වල්ලභ

වි. රජුට හිතවත් ; රජුට පක්ෂපාත.

රාජ විභූතිය

නා. රජුගේ මහිමය ; ඓශ්චර්යය.

රාජකකුධ භාණ්ඩ

නා.ප්‍ර. රාජත්වයේ සංකේත වශයෙන් පිළිගනු ලබන වල්විදුනාව, නළල්පට, මඟුල්කඩුව ; දළපුඬු සේසත, මිරිවැඩි සඟල යන භාණ්ඩ.

රාජකථා

නා.ප්‍ර. රජුන් පිළිබඳ ව කරන කතාබහ ; රජුන් හා සම්බන්ධ කථා.

රාජකාර්යය

1. නා. රාජ්‍ය සේවය ; රජයේ කටයුතු ; ආණ්ඩුවේ සේවය.
2. සේවය ; නිල කටයුත්ත.

රාජකාරි ක්‍රමය

නා. රජයට අයත් ඉඩම් වගා කිරිමට පවරා එයින් රජයට ආදායමක් ලබාගැන්මේ ක්‍රමය.

රාජකාරිය

1. නා. රජතුමා නොහොත් රාජ්‍යය වෙනුවෙන් ඉටු කරන සේවය ; රාජ්‍ය සේවයකුගේ නිල කටයුත්ත.
2. සෙංකඩගල රාජ්‍ය සමය තුළ දී ගොවියන් වෙත ඉඩම් වගා කිරිම සඳහා පවරා, ඒ වෙනුවෙන් සේවා නොහොත් ගෙවීම් රජය ලබා ගැන්මේ වැඩ පිළිවෙළ.
3. වැඩ ; සේවා ; නිල කටයුතු.

රාජකාරී නිවාඩු

නා.ප්‍ර. රාජ්‍ය කටයුත්තක් සඳහා ම නිවාඩු පිට සේවා ස්ථානයෙන් බැහැර ව සිටීම.

රාජකීය

වි. රජතුමාට නොහොත් රජ පවුලට අයත් ; රජු හා සම්බන්ධ.

රාජකීය චිහ්නය

නා. රාජ්‍යය සංකේතවත් කරනු ලබන ලාංඡනය ; රාජ්‍ය සංකේතය ; රාජ චිහ්නය.

රාජකීය ජල්ලි

නා.ප්‍ර. මී මැසි පිළවුන්ගේ පෝෂණය සඳහා පමණක් ඒ වැඩකාර මැස්සියන් විසින් සාදනු ලබන ද්‍රව ආහාරයක් ; රාජ ජල්ලිය.

රාජකීය නීතිඥයා

නා. රජයේ නීති උපදේශකයා ; රජය වෙනුවෙන් පෙනී සිටින විශේෂ නීතිඥයා.

රාජකීය පරමාධිකාරය

නා. හුදු රාජ්‍යත්වයට පමණක් විනා අන් ආයතනයකට නොහොත් පුද්ගලයෙකුට අයත් ව නොපවතින නිෂේධ බලය.

රාජකීය වරපත

නා. රජයෙන් ලැබෙන වරප්‍රසාදයක් සහතික කරන සන්නස් පත්‍රය.

රාජකෝෂ

නා.ප්‍ර. මහාර්ඝ වස්තු තැන්පත් ව පවතින ගබඩාව.

රාජගහ

1. නා.ප්‍ර. දඹදිව පිහිටි විශාල නගරයක් ; රජගහනුවර.
2. රාජගෘහය ; රාජ මන්දිරය.
3. පිරිත් මණ්ඩපයක් තුළ සිටුවන පුවක් කරටිය.

රාජග්‍රහතරු

නා.ප්‍ර. ප්‍රධාන ග්‍රහ තාරකා අට.

රාජගාමණී

නා.ප්‍ර. ගම් ප්‍රධාන යන අර්ථයෙන් යුත් පුරාණ තනතුරු නාමයක්.

රාජගිරි

නා.ප්‍ර. පුරාණ වෛතුල්‍යවාදී නිකායක්.