සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1355

රැහැයියා

නා. ගස් කඳක නිශ්චල ව සිටිමින් උස්, තියුණු, ඒකාකාර බවක් නංවන මැසි වර්ගයේ කෘමියෙක්.

රැහැසියා

නා. රහස් ඔත්තුකාරයා.

රැහියා

නා. ගෝත්‍රිකයා ; රාෂ්ට්‍රිකයා.

රෑ

වි. රාත්‍රිය හා සම්බන්ධ.

රෑ බදුල්ලා

නා. ශරීරයේ පසුපස ආලෝක බිඳක් දරන නිශාචර කෘමියෙක්.

රෑ මනමාලි

නා. රැයෙහි පිපෙන සුවඳැති මල් වර්ගයක්.

රෑ මූද

(කථා.) නා. 1. ඉතා ගැඹුරු මුහුදු පෙදෙස ; අඳුරු පැහැගත් ඈත සාගර ප්‍රදේශය.
2. වෙරළින් එහා රාත්‍රියෙහි යෙදෙන ධීවර කටයුතු.

රෑන

1. නා. ශාකවල පහළට එල්ලෙන මල් කිනිති ; වැල් ආදියේ දිගට ඇදෙන මල් කිනිති ; වැල් ආදියේ ඇදෙන අත් පහුරු.
2. ලණුව ; කඹය; යොත.
3. රංචුව ; රැළ; සමූහය.

රෑන කන්ද

නා. කමතේ ගොඩ ගැසූ ගොයම් හෝ පිදුරු සමූහය.

රෑන කිතුල

නා. මල් රෑන් සහිත පීදුණු කිතුල් ගස.

රෑන ගිරව්

නා.ප්‍ර. රංචු වශයෙන් ජීවත් වන ගිරව්.

රෑන සංඥාව

නා. ලණුවක් ඇදීමෙන් දක්වන සංඥාව.

රෑනසන

නා. රෑන සංඥාව.

රෑන් කොළ

1. නා.ප්‍ර. බුලත් නොපීදුණු කොළ.
2. කෙළින් ම කඳින් හටගන්නා ගොරෝසු කොළ.

රෑන් මැස්ම

(පාරිභා.) නා. අලංකාර නිමාවක් සඳහා ද, මෝස්තර සඳහා ද යොදා ගන්නා මැස්මක්.

රෑන් හිණ

නා. ලණුවලින් සාදා ගන්නා ඉණිමග.

රෑනි

නා.ප්‍ර. ගොයම් රෝගයක්.

රෑපන්නෙ

ක්‍රි.වි. රෑ යාමයෙහි ; රාත්‍රි කාලයෙහි.

රෑයිම

[රෑ + ඉම]
නා. රාත්‍රි සීමාව ; උදය ; අළුයම.

රෑහිය

නා. රාශිය ; සමූහය ; ගොඩ ; ගොන්න.

රිංගනවා

1. ක්‍රි. සිදුරු කපොලු ආදී වූ ඉඩකඩ මඳ තැනකින් අමාරුවෙන් ඉදිරියට ඇදෙනවා.
2. නොයා යුතු තැනකට හොරෙන් ඇතුළු වෙනවා.
3. බඩ ගා යනවා.
4. ලිස්සා යනවා.

රිංගර්ද්‍රාවණය

(පාරිභා.) නා. සෝඩියම්, පොටෑසියම් හා ක්ලෝරයිඩ් අන්තර්ගත සේලයින් ද්‍රාවණය.

රික

1. නා. ගස ; වෘක්ෂය ; රුක.
2. නැකත ; නක්ෂත්‍රය.
3. හදවත ; හෘදය.

රිකට්සය

නා. මාන්දම ; අස්ථි විකෘති රෝගය.