සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1354

රැලිහුන්

වි. රැලි ගැසුණු.

රැවටිල්ල

1. නා. මුළාව ; වංචාව ; ප්‍රයෝගය.
2. සරදම ; කොලොප්පම ; ඔච්චම.

රැවටිලි

වි. කපටි ; ප්‍රයෝගකාර ; වංචා සහගත.

රැවු

නා.ප්‍ර. රාවය ; නාදය.

රැවු දෙනවා

1. ක්‍රි. ශබ්ද කරනවා ; හඬ නංවනවා ; නාද කරනවා.
2. (ආරංචියක්) කටින් කට පැතිරී යනවා ; ප්‍රචාරය වෙනවා.

රැවු පිළිරැවු දෙනවා

ක්‍රි. නාදය දෝංකාරය නංවනවා.

රැවුපිළිරැවු

නා.ප්‍ර. රාවය හා ප්‍රතිරාවය ; නාදය හා අනුනාදය.

රැවුල

නා. පිරිමින්ගේ මුහුණේ වැවෙන දළ රෝම රාශිය.

රැෂ්ට වෙනවා

ක්‍රි. තරහ වෙනවා ; කෝප වෙනවා.

රැස

1. නා. රාශිය ; සමූහය ; ගොන්න ; රොත්ත.
2. වර්ගය ; ගෝත්‍රය ; ජාතිය.
3. (ජ්‍යෝති.) දොළසක් වශයෙන් පිළිගනු ලබන හැඩ අනුව ගැළපී පවතින තාරකා සමූහවලින් එකක්.
4. රශ්මිය ; කාන්තිය ; ආලෝකය.

රැස් කනවා

ක්‍රි. එකට තදබද වෙනවා ; සමූහයක් එකට රොක් වෙනවා.

රැස් පබඳ

නා. එකට එතුණු රැස්කඳ ; රශ්මි කදම්බය.

රැස් වළල්ල

නා. වටා විහිදෙන රශ්මි මණ්ඩලය.

රැස්කෝල්

(කථා.) නා.ප්‍ර. සැර ; තේජස ; උදාරම ; අහංකාරකම.

රැස්පති

නා.ප්‍ර. සූර්යයා ; ඉර ; රවි.

රැස්වීම

නා. ඒකරාශි වීම ; එක තැනකට එකතුවීම.

රැසිඳු

[රැස් + ඉඳු]
නා.ප්‍ර. සූර්යයා ; ඉර.

රැසීමාකාර

(පාරිභා.) වි. මිදි පොකුරක් මෙන් ශාඛා බෙදුණු.

රැසීමික අම්ලය

(පාරිභා.) නා. රැසීමික ටාටරික් අම්ලය ; ටාටරික් අම්ලයේ රැසීමික රූපය.

රැහැ

1. නා.ප්‍ර. රසය ; රහ.
2. සමූහය ; කණ්ඩායම.
3. ගෝත්‍රය ; චරිතය.
4. රාත්‍රිය ; රැය.

රැහැණි

නා.ප්‍ර. කෝපය ; තරහ ; උරණ බව.

රැහැන

නා. ලණුව ; යොත ; රෑන.

රැහැන් ගසන්නා

1. නා. පුරාණ ලංකාවේ ඉඩම් හා කුඹුරු මැන වෙන් කළ නිලධාරියා ; රජ්ජුග්‍රාහකයා.
2. පෙරහැර ආදියේ කස පුපුරවන තැනැත්තා ; කසකාරයා.

රැහැයි කරනවා

ක්‍රි. ගොයම් පෑගූ පසු වී එකතු කරනවා.