සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1353

රැණිය

නා. ලණුව ; නූල ; යොත ; රැහැන ; රජ්ජුව.

රැති

වි. රත් පැහැ ; රතු.

රැන්ද

1. නා. තද කොටස.
2. ඇටකටු ; අං, බට ආදියෙහි මැද පිහිටි කුහරය ; රන්ධුය.

රැඳවිය

නා. නැවතීම ; නැවැත්වීම ; රැඳීම.

රැඳවියා

නා. අත්අඩංගුවේ රඳවාගෙන සිටිනු ලබන්නා.

රැඳි දිය

නා.ප්‍ර. විල්, පොකුණු, වැව් ආදියෙහි පිටට නොගලා නැවතී සිටින ජලය.

රැඳී

1. වි. පාට කළ ; පැහැගැන් වූ ; රංජනය කළ.
2. බබළන.
3. යුක්ත වූ ; සමන්විත වූ.
4. නැවතුණු ; රැඳුණු.
5. (පාරිභා.) වැව්, පොකුණු ආදී නිශ්චල ජලයේ ජීවත්වන.
නා.ප්‍ර. සිංහල ඡන්දසක්.

රැඳීම

1. නා. පාට කිරිම ; සායම් පෙවීම ; පඬු ගැසීම.
2. නැවතීම ; නවාතැන් ගැනීම ; නතරවීම.

රැබ්ඩෝම

(පාරිභා.) නා.ප්‍ර. සන්ධිපාදිකයන්ගේ සංයුක්ත ඇස්වල තිබෙන ආලෝකය වර්තනය කරන දණ්ඩක් වැනි දෙයක් ; දෘෂ්ටික යෂ්ටිය.

රැමිය

(පාරිභා.) නා. කන්දක් පහළට ගලන ලොකු ජල පාරකින් ජලය එසවීමට භාවිත කරන පොම්ප විශේෂයක් ; ජම්බරයක බර කොටස.

රැමුව

නා. සවස ; හැන්දෑව ; රාත්‍රී මුඛය.

රැය

නා. රාත්‍රිය.

රැයිම

[රැ + ඉම]
නා. රාත්‍රියේ කෙළවර ; අළුයම ; පාන්දර.

රැයිසිය

නා. රොඩු, කුණු, ගල් කැට ආදිය ඉවත් කිරීම සඳහා වැලි, හුණු ආදිය හලා පෙරා ගැන්මට පාවිච්චි කරන කම්බි දැලක් ගැසූ සරල උපකරණයක්.

රැල

1. නා. රංචුව ; සමූහය ; කැල.
2. දියේ ඇතිවන රැල්ල ; තරංගය.

රැල්

1. නා.ප්‍ර. නූල් ; කෙඳි.
2. සිහින් තීරු පටි.

රැල්පුලුන

නා. කුඩා පුලුන් පෙදය ; පුලුන් කැටිය.

රැල්ල

1. නා. තරංගය ; දිය රැල්ල.
2. කුඩා නැම්ම.
3. (නූල් දිවීමෙන්) කරන රැල්ල.
4. ඇඳුම් මැහීමේදී රෙදි පොටවල් එකකට එකක් නැමෙන සේ යොදා සකස් කර ගන්නා මැහුම් විධියක්.
5. වකුටු දෙය ; වක්වූව.

රැලි තුවක්කුව

නා. ගිනි අවි විශේෂයක් ; රයිපලය.

රැලි මැස්ම

නා. වස්ත්‍රයක ළිං ළං ව රැලි වැටෙන සේ කරන මැහුම.

රැලිපටි

නා.ප්‍ර. උඩරට නැට්ටුවන් බාහුවල පලඳින රැලි දමූ පටි ආභරණ ; රැලිවලින් යුක්ත පටි.

රැලිබිම්

නා.ප්‍ර. උසින් ඉතා අඩු කඳුවැටිවලින් ද ඒ අතර පිහිටි නිම්නවලින් ද ගහන ප්‍රදේශය.

රැලිය

නා. කිසියම් පොදු අරමුණක් සඳහා රැස්වන විශාල ජන සමූහය ; මහජන මුළුව.

රැලිහඬ

නා. ගවයන් ගේ හඬ වැනි කටහඬ.