සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1352

රාහිත්‍යය

නා. රහිත බව ; ශූන්‍යත්වය.

රාහු

නා.ප්‍ර. ග්‍රහණ ඇති කිරිම සඳහා සූර්යයා සහ චන්ද්‍රයා ගිල දමති යි විශ්වාස කරනු ලබන අසුරයෙක් ; චෛත්‍යයෙක් ; නවග්‍රහයන් ගෙන් එක් ග්‍රහයෙක්.

රාහු කවචය

නා. රාහුගෙන් වන අපලවලින් ආරක්ෂාවීම සඳහා පිරිත් කොට පලඳින යන්ත්‍රයක්.

රාහු කාලය

නා. (ජ්‍යෝති.) අශුභ යැයි සම්මත කාල පරිච්ඡේදයක්.

රාහු බද්ද

නා. පුරාණයෙහි දේවාලවල බෙර වයන්නන් පදිංචි ව සිටි ප්‍රදේශය.

රාහු මුඛ

1. නා.ප්‍ර. රාහු අසුරයාගේ කට.
2. පුරාණ ලංකාවේ අපරාධකරුවන්ට දෙන ලද දඬුවමක්.

රැකවරණය

නා. ආරක්ෂාව ; රැකීම හා උවදුරු වැළැක්වීම.

රැකවල

1. නා. ආරක්ෂාව ; ආරක්ෂා කිරීම.
2. ආරක්ෂා සහිත ස්ථානය.

රැක්කය

රාක්කය බ.

රැකියා බැංකුව

නා. රැකියාවක් ලබාදීම සඳහා රජය අරඹා ඇති ආයතනය.

රැකියා වියුක්තිය

නා. රැකියා නොමැති වීම ; රැකියා රහිත භාවය ; විරැකියාව.

රැකියාව

නා. වැටුපක් සඳහා කරනු ලබන සේවය ; රක්ෂාව ; ජීවනෝපාය ; වෘත්තිය.

රැකීම

නා. ආරක්ෂාව ; පරිස්සම ; ආරක්ෂා කිරීම.

රැකුම් මඩිය

(පාරිභා.) නා. වැඩෙන බිත්තර හෝ කලල හෝ තැන්පත් කොට ඇති ජනක ශරීරයේ පවතින කුහරයක්.

රැකෝඩය

1. නා. විද්‍යුත් මාර්ගයෙන් ශබ්ද කවන ලද තැටිය නොහොත් පටිය.
2. සටහන ; ලේඛනය ; වාර්තාව.

රැග්

නා.ප්‍ර. විශ්වවිද්‍යාලය ආදී ආයතනවල නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් කරන හිංසාව ; නවක වදය.

රැග්ලන් අත

(පාරිභා.) නා. ඇඳුමක උරහිස් මූට්ටුවක් නොමැති ව ඇඳුමේ කරේ සිට ම දිවෙන අත.

රැඟුම

නා. නැටුම ; නාට්‍යය ; රංගනය ; රඟ දැක්වීම.

රැජන

නා.ප්‍ර. රජ කරන්නී ; රාජිනිය ; රාඥිය ; මෙහෙසිය.

රැටිනාව

නා. ඇස තුළ පිහිටි සිවියක නාමය.

රැටියා

නා. රටවැසියා ; පුරවැසියා.

රැටිසුරු

[රැටි + ඉසුරු]
නා.ප්‍ර. රටේ අධිපතියා ; ප්‍රධාන රාෂ්ට්‍ර පාලකයා ; අග්‍රාණ්ඩුකාරයා.

රැඩිකල්වාදය

නා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සඳහා දේශපාලන ක්‍රමයෙහි බලවත් වෙනස්කම් ඇති කළ යුතු යුතු ය යන දේශපාලන මතවාදය.

රැණිම

නා. සංගීත භාණ්ඩයකින් නැගෙන ශ්‍රැති නාදය.