සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1407

ලුණිජ්ජ

(කථා.) නා. ලුණුදිය ; ලුණුවතුර ; ලවණ ජලය.

ලුණු

වි. ලවණ රසයෙන් යුත් ; කර රසයෙන් යුත්.
1. නා.ප්‍ර. මුහුදු දියෙහි අධික ව පවතින කර රසයට හේතුවන ද්‍රව්‍යය ; සෝඩියම් ක්ලෝරයිඩ් හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයක්.
2. ලවණ කර රසය.

ලුණු ආකරය

නා. කරදිය වාෂ්පීකරණයට භාජන වීමෙන් ලුණු ශේෂ වන බිම ; ලුණු කෙත ; ලුණු ලේවාය.

ලුණු ඇදීම

නා. ළමා ක්‍රීඩාවක් ; එත්ගුඩු පැනීම ; ලුණු කෙළිය.

ලුණු කටුව

(කථා.) නා. ලුණු පොල් කටුව ; ලුණු උතු කට්ට ; ලුණු පොලොත්ත.

ලුණු කර

වි. ලුණු මිශ්‍ර ; ලුණුරස ඇති ; ලවණ රසයෙන් යුත්.

ලුණු කර පැන්

නා.ප්‍ර. ලුණු රසයෙන් යුත් වතුර ; ලුණු මිශ්‍ර දිය ; මුහුදු ජලය ; කරදිය.

ලුණු කර බිම

නා. ලුණු මිශ්‍ර පසින් යුත් භූමිය ; ගස් වැනි නොමැති ලුණු ගතියෙන් යුත් භූමිය.

ලුණු දමනවා

ක්‍රි. මාලු මස් ආදිය කුණු නොවී කල්තබා ගැනීමට ඒවා ශුද්ධකොට පළා සිහින් තීරුවලට ඉරා ලුණු කැට දමනවා ; ලුණු බහා දෙහි අඹ වැනි යම් යම් දේ කුණු නොවී කල්තබා ගැනීමට වියළනවා.

ලුණු දුවනවා

ක්‍රි. ලුණු කා වැදෙනවා.

ලුණු පිඩැලි

නා.ප්‍ර. ලවණ පිණ්ඩය ; ලුණු කැටිය.

ලුණු බද්ද

නා. බදු විශේෂයක් ; ලුණු නිපදවීමේ කාර්යය වෙනුවෙන් රජයට ගෙවිය යුතු බද්ද.

ලුණු මඩ

1. නා.ප්‍ර. ලුණු මිශ්‍ර මඩ.
2. ලුණු දිය කරන භාජනයේ ඉතිරි වන වැලි මිශ්‍ර ලුණු බොර.
3. ඖෂධ විශේෂයක්.

ලුණු මල

(කථා.) නා.ප්‍ර. ලුණු පොල් කටුවේ පිටින් බැඳෙන සිහින් කුඩුවලින් යුත් තට්ටුව.

ලුණු මාරුව

නා. ලුණු රසය ; ලුණු ගතිය.

ලුණු මිරිස

(කථා.) නා. ලුනු, මිරිස්, උම්බලකඩ, ලුණු ආදිය අඹරා දෙහි මිශ්‍ර කොට සාදන සම්බෝලය.

ලුණු ලේවාය

නා. ලුණු ආකරය බ.

ලුණු වගුර

නා. සාගර හා මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටි ඉතා පහත් තැනිතලා මතට කර දිය ගලා රැඳී පැවතීමෙන් හට ගැනෙන වගුරු.

ලුණු වැලි

නා.ප්‍ර. ලුණු භාජනයෙහි පත්ලෙහි රැඳෙන වැලි.

ලුණු වැවෙනවා

ක්‍රි. ලුණු ලේවායක ලුණු මිදෙනවා ; ලුණු හට ගැනෙනවා.

ලුණු සබන්

නා.ප්‍ර. රෙදි සේදීම ආදිය සඳහා ගනු ලබන ක්ෂාරය සහිත සබන් වර්ග.

ලුණුකරුවා

නා. ලුණු නිපදවන තැනැත්තා ; ලුණු සාදන තැනැත්තා.

ලුණුදිය

නා. ලුණු කැට දියවීමෙන් හෝ දිය කිරීමෙන් ඇතිවන ලුණු රසැති ජලය ; ලුණු වතුර.

ලුණුරැස

නා. ලුණු රාශිය ; ලුණු ගොඩ.