සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1406

ලීලාවතංසය

නා. ශෘංගාරය උපදවන මුදුන් මල්කඩ.

ලීලාස්ථලය

නා. ක්‍රීඩා භූමිය ; කෙළි බිම ; සෙල්ලම් පිටිය.

ලීලෝද්‍යානය

[ලීලා + උද්‍යානය]
1. නා. ක්‍රීඩා උයන ; කෙළි පිණිස ප්‍රයෝජනවත් උයන්බිම.
2. නන්දන උයන.

ලීලෝපේත

[ලීලා + උපේත]
වි. ලීලාවෙන් යුත් ; ලෙලදෙන ; බබළන ; ලලිත ; ලෙලෙන.

ලීවර ක්‍රමය

නා. ක්ෂමතාව ඇති දෙයක සිට ප්‍රතිරෝධය ඇති දෙයකට පීඩනය හෝ චලිතය හෝ ගෙනදීමට ධරයක් මත කැරකීමේ ක්‍රියාවලිය සහිත ක්‍රමය ; උත්තෝලන ක්‍රමය ; ලීවරයක ක්‍රියාවලියෙන් යුත් ක්‍රමය.

ලීවරණය

නා. උත්තෝලනය යෙදීමෙන් ඇතිවන වාසිය හෝ බලය ; ලීවරයක් භාවිත කිරීමෙන් ලැබෙන යන්ත්‍ර වාසිය.

ලීවරය

1. නා. ක්ෂමතාව ඇති දෙයක සිට ප්‍රතිරෝදය ඇති දෙයකට පීඩනය හෝ චලිතය හෝ ගෙනදීම පිණිස භාවිත කරන ධරයක් මත කැරකෙන දණ්ඩ.
2. බරක් එසැවීමේ දී අඩයට ගසා උස්සන මුක්කු ලීය ; අඩයක් තබා යමක් ඉස්සීමට හෝ තල්ලු කිරීමට යොදන යකඩය හෝ ලී දණ්ඩ ; උත්තෝලනය ; දණ්ඩියම.

ලීශ්මේනියාව

නා.ප්‍ර. පිළාවේ හා අක්මාවේ අන්තච්ඡද සෛල හා රුධිරයේ ද බෝවෙන පරිපෝෂිතයකුගෙන් සෑදෙන රෝගයක්.

ලීස්

නා.ප්‍ර. නූල් හැදයක් සෑදීමේ දී එක් එක් නූලක් වෙන් කර ගැනීමට පහසු වන සේ බෙදීම.

ලීස්තරය

නා. ලී කැටයම් ආදියෙහි පිටතට නෙරා යන පරිදි කපන ලද සැරසිල්ලෙන් යුත් රාමුව ; බොරදම් ගාන ලද ලී පටිය ; ගල්ලෑලි ආදියෙහි වටේ තිබෙන ලී රාමුව.

ලීස්පෙන්ඩන්ස්

නා.ප්‍ර. (නීති.) විනිශ්චයට භාජනය වී ඇති ඉඩම් නඩුව ; ඉඩම් කාර්යාලයේ ලියාපදිංචි වූ නඩුව.

ලු

1. නා.ප්‍ර. හැන්ද ; කෙණෙස්ස ; ලූව.
2. හැඳි අළුව ; හැඳි එල්ලා තැබීමට සකස් කර ඇති උපකරණය.
වි. තැබූ ; දැමූ ; බහාලන ලද.

ලුංගිය

නා. යටි කය සඳහා භාවිත ඇඳුම් විශේෂයක්.

ලුජ්ජන

නා.ප්‍ර. විනාශ කිරීම ; බිඳීම.

ලුඤ්චනය

නා. සිඳීම ; ඡේදනය.

ලුටනි උණ්ඩුක කපාටය

නා. කුඩා බඩවැලේ අග කෙළවර පිහිටි උණ්ඩුකයේ කපාටය.

ලුටනි ද්වාරණය

නා. කුඩා බඩවැලේ කෙළවර ඇති ද්වාරණය.

ලුටනිය

නා. කුඩා බඩවැලේ අග කෙළවර.

ලුටිෂියම්

(පාරිභා.) නා.ප්‍ර. විරල පාංශු ගණයේ ලෝහමය මූල ද්‍රව්‍යයක්.

ලුඨනය

නා. පෙරළීම ; වැතිරීම.

ලුඨිත

වි. වැතිරුණු ; පෙරළුණු.

ලුණඹ

නා. ලුණුදිය ; ලුණුවතුර ; කරදිය ; ලවණ ජලය.

ලුණ්ඨක

වි. සතුන් ගොදුරු කරගන්නා වූ.

ලුණ්ඨකයා

1. නා. සතුන් මරා ගොදුරු කොට ගෙන ජීවත්වන්නා.
2. අනුන් සතු දෙය උදුරාගෙන ජීවත්වන්නා ; කොල්ලකරුවා.