සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1405

ලී පුවරුව

නා. මට්ටම් කළ සිහින් ලෑල්ල ; ලී ඵලකය.

ලී මට්ටම් කරනවා

ක්‍රි. ලීයෙහි ඇද නැවීම් ආදිය ඉවත් වන සේ සම කරනවා.

ලී මලවැද්දා

නා. උගුල් අටවා සතුන් මැරීමෙහි යෙදෙන වැද්දා ; හබකය මඟින් සතුන් අල්ලන වැද්දා.

ලී මැස්ස

නා. ලී පටි යොදා තනන මැස්ස ; ලී ඉනිමත හරස් හා තිරස් අතට ලී පටි ගසා බුලත් එළවලු ආදි වැල් දුවවීමට බඳින මැස්ස.

ලී වයිති

නා.ප්‍ර. ලී භාණ්ඩ ආදිය ඔප දැමීමට ගනු ලබන සංයුක්ත ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් ; ලීවල ගාන පොලිෂ් ; ලී ඔප ගන්වන වයිති.

ලීක් වෙනවා

1. ක්‍රි. සිදුරකින් ද්‍රව ආදිය මඳින් මඳ පිටතට කාන්දු වෙනවා ; ද්‍රව ආදිය වෑහෙනවා.
2. (රහස් දෙයක්) අන් අයට දැන ගැනීමට සැලසෙනවා ; (රහසක්) පිට වෙනවා.

ලීගය

නා. පක්ෂය ; දේශපාලන වශයෙන් යම් ප්‍රතිපත්ති මාලාවකට අනුව බෙදෙන පක්ෂය.

ලීටරය

නා. මෙට්‍රික් ක්‍රමය අනුව ද්‍රව මැනීමේ ඒකකය ; මිලි ලීටර් දහස ; ඝන සෙන්ටි මීටර් දහස ; ඝන ඩෙසි මීටරය ; පයින්ට් 1.75.

ලීතනවා

ක්‍රි. යමක් ලිපෙහි තබනවා ; ලිපේ තියනවා.

ලීන

1. වි. සැඟවුණු ; වසන් වූ ; වැසුණු ; හැකිළුණු.
2. අප්‍රකට ; අප්‍රසිද්ධ.

ලීනාර්ථය

නා. සැඟවුණු අරුත ; අප්‍රකට අර්ථය ; දුරවබෝධ අර්ථය.

ලීප්සජනක

(පාරිභා.) වි. ඔසප් කාරක ; ඊස්ට්‍රස් ජනක ; ඊස්ට්‍රන් පිළිබඳ වූ.

ලීපාම්

නා.ප්‍ර. මැටියෙන් පෙතලි රූ ආදිය කිරීම ; ලේපනය ; ලේප්‍ය කර්මය.

ලීබිග් කොන්ඩෙන්සරය

නා. ද්‍රාවණයක් උණුවීමෙන් ඇතිවන වාෂ්ප ඝනීභවනයට උදව්වන සිසිල් කිරිමේ උපකරණයක්.

ලීම

ලනවා, යන්නෙහි භා.නා. දැමීම ; ලෑම ; බැහීම (ඉවත) දැමීම.

ලීමා

1. නා.ප්‍ර. මෑකරල් වර්ගයක්.
2. දෙහි විශේෂයක්.

ලීය

1. නා. ද්‍රව කඳ ; දණ්ඩ ; යෂ්ටිය ; කෝටුව.
2. වනය ; කැළෑව.

ලීලය

1. නා. ලිහිල ; මෘදු ගතිය ; හිතවත්කම ; දයාව.
2. ශෝභාව ; විලාසය ; ලීලාව.
3. (ප්‍ර. යෙදේ) ආකාරය ; ස්වභාව.

ලීල්

1. වි. ලිහිල් ; බුරුල් ; සැහැල්ලු ; සිථිල ; බරෙන් අඩු.
2. ලේසි ; පහසු ; සුකර.
3. මඳ ; අඩු ; ඌන.

ලීල් අහර

1. නා. සැහැල්ලු ආහාරය ; දිරවීමට පහසු කෑම.
2. රස මසවුලින් තොර අහර ; කටුක අහර.

ලීලා

1. වි. ලෙල දෙන ; ලලිත.
2. මනෝඥ ; විසිතුරු ; සුන්දර.
1. නා.ප්‍ර. ආකාරය ; ස්වභාවය ; විලාසය.
2. වේශය ; වෙස.
3. ශෘංගාරය ; කාමුකබව.
4. විසිතුරු ආකාරය ; ශෝභාව ; ලාලිත්‍යය.
5. හැඩය ; ශරිරාංගයන්ගේ ආකාරය ; විදිය.
6. ප්‍රීතිය ; සතුට ; සොම්නස.
7. ක්‍රීඩාව ; ළදරුවන්ගේ සෙල්ලම්.

ලීලා දඬුව

නා. විසිතුරු කැටයම් සහිත සැරයටිය ; විලාසය සඳහා භාවිත කරන යෂ්ටිය ; සෝලු ලීය ; බස්තම.

ලීලා භවන

නා.ප්‍ර. ක්‍රීඩා මන්දිරය ; කෙළි සෙල්ලම් සඳහා යොදාගනු ලබන මැදුර.

ලීලා විලාසය

නා. කාමුක හැඟීම් දක්වන ආකාරය ; ශෘඞ්ගාරාත්මක ක්‍රියා පිළිවෙළ.