සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1432

වගභාර ආණ්ඩුව

නා. බලයේ පවතින රජයෙක් විසුරුවා හැරීමෙන් පසුව, නැවත අලුත් රජයක් බලයට පත් වන තුරු තාවකාලිකව රටේ පාලනය භාර ආණ්ඩුව ; භාරකාර ආණ්ඩුව.

වගභාරය

නා. රාජකාරියක් පිළිබඳව යමකු වෙත පැවරෙන වගකීම් ප්‍රමාණය.

වගම්පරස්

(කථා.) නා.ප්‍ර. වගතුග, ; හොඳ නොහොඳ.

වගල

1. නා. බෑවුම.
2. (කථා.) කුඹුරක නිතර ජලය ගලා යන මඩබිම් ප්‍රදේශය ; මීහරක් කුඹුරට ගෙන යාම සඳහා වෙන් කළ අඩිපාර.

වගලනවා

(කථා.) ක්‍රි. වට කරනවා ; වටකර අල්ලා ගන්නවා.

වගවාලත්තම්

(කථා.) නා.ප්‍ර. කුලය පිළිබඳ උස් පහත්කම් මතක් කරමින් දොස් තැබීම.

වගවාසගම්

1. නා.ප්‍ර. විස්තර සහිත තොරතුරු.
2. පරම්පරා නාමය ; පෙළැන්තිය.

වගවිශ්වාසය

නා. ඇදහීම ; භක්තිය.

වගසිටුව

නා. වගතුග ලේඛනය ; නීතිරිති සංග්‍රහය.

වග්ගය

1. නා. ග්‍රන්ථයක කොටස ; කාණ්ඩය ; පරිච්ඡේදය.
2. සම්මතයෙහි නොපිහිටි සංඝයා වහන්සේලාට ව්‍යවහාර කරන නාමයක්.

වග්ගුලි

1. නා.ප්‍ර. වවුලා.
2. වවුල් ව්‍රතය ගත් භික්ෂූහු.

වග්ගුලි වත

නා. වවුල් ව්‍රත ; කුහක පිළිවෙත.

වග්මී

වි. කීමෙහි බීණීමෙහි දක්ෂ.

වගාව

1. නා. දියුණුව ; වර්ධනය.
2. බෝග වැවිල්ල ; රෝපණය.

වගුර

නා.ප්‍ර. ජලය රඳා පවතින මඩෙන් ගහන පහත් බිම ; මඩ ගොහොරුව.

වගුරනවා

ක්‍රි. ඩහදිය කඳුළු ආදිය හෙළනවා ; වක් කරනවා ; විසුරවනවා.

වගුරැළි

නා.ප්‍ර. කඩදාසිවලින් හෝ රෙදිවලින් කරන සැරසිල්ල ; රැළි පාලම් ආරුක්කු.

වගුරු

වි. ජලය සහිත මඩින් යුක්ත ; ගොහොරු.

වගුරු නිම්නය

නා. ගංගාවක ජල මාර්ගවලට බාධා ඇති වීම නිසා ගංගා මාර්ගයේ සෑදෙන මඩබිම් සහිත ප්‍රදේශය.

වගුරු වායුව

නා. මඩවගුරුවල ඇති ජීව ද්‍රව්‍ය නිසා සෑදෙන වායුව ; මීතේන් ; මෙතේන්.

වගුව

නා. සංඛ්‍යාමය තොරතුරු දක්වන සටහන ; ගණිත චක්‍රය.

වඞ්ගේරිකාව

නා. වේවැල් පෙට්ටිය.

වඟ

වි. උතුම් ; මහරු.

වඟී

නා.ප්‍ර. කොටස ; වෙන් කිරීම ; බෙදීම.