සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1446

වනරජ

1. නා. වන නමැති රජ.
2. වනයෙහි රජ.
3. වන රොද.

වනරාජ

1. නා.ප්‍ර. වනයේ රජ ; සිංහයා.
2. ජලයේ රජ ; හංසයා.

වනරාජිය

නා. දිගට විහිදුණු වනාන්තරය ; කැලෑරොද ; වනරොද.

වනරොද

නා. වන ලැහැබ ; ගස්වලින් පිරුණු කැලෑව.

වනස

නා. විනාශය ; ව්‍යසනය.

වනසනවා

ක්‍රි. විනාශ කරනවා ; නසනවා.

වනසර

1. වි. වනයෙහි හැසිරෙන.
නා.ප්‍ර. වනයෙහි ජීවත්වන්නා ; වැද්දා.

වනස්පති

නා.ප්‍ර. වනපති බ.

වනළෑව

නා. ගස්වැල් බහුල කැලෑව ; වනාන්තරය ; වන ළැහැබ.

වන්

1. නා.ප්‍ර. පැහැය ; වර්ණය.
2. වංගෙඩිය.
නි. වැනි ; බඳු.

වන්ත

වි. වැමෑරූ ; වමනය කළ.

වන්දනය

නා. වැඳීම ; නමස්කාරය.

වන්දනාමය

වි. වැඳීමෙන් ඇති වූ.

වන්දනාමාන

නා.ප්‍ර. වැඳීම ; පිදීම හා ගරු කිරීම.

වන්දනාව

1. නා. වැඳීම ; නමස්කාර කිරීම.
2. වන්දනා කිරීම (වැඳුම් පිදුම්) සඳහා යන ගමන ; වන්දනා ගමන.

වන්දනීය

වි. වැඳිය යුතු ; වැඳුම් ලැබීමට සුදුසු.

වන්දනෙය්‍යාභිවන්දනෙය්‍ය

වි. වන්දනා ලැබීමට අතිශයින් සුදුසු.

වන්ද්‍ය

වි. වැන්ද යුතු ; වන්දනීය.

වන්දා

නා.ප්‍ර. ඉදිරි දෙපාද වන්දනාවෙන් මෙන් නවා ඔසොවා සිටින සිහින් ශරීරයක් ඇති ආත්‍රපෝඩා වංශික කුඩා සතෙක්.

වන්දි

1. නා.ප්‍ර. රජ, ප්‍රභූ ආදීන්ගේ ගුණ අතිශයෝක්තියෙන් වර්ණනා කරන පුද්ගලයා.
2. සිදු වූ හෝ සිදු කළ පාඩුවක්, අලාභයක්, අපකීර්තියක් වෙනුවෙන් මුදල් ආදියෙන් කරන ගෙවීම.

වන්ධ්‍ය

1. වි. දරුවන් නොලබන ; ප්‍රජනන ශක්තිය නැති ; වඳ.
2. ජීවාණු නසන ලද ; විෂබීජ නැසූ.

වන්ධ්‍යකරණය

1. නා. ප්‍රජනන ශක්තිය නැති කිරීම ; වඳ කිරීම.
2. ජීවාණු විනාශ කිරීම ; ජීවාණුහරණය.

වන්ධ්‍යාව

නා. දරුවන් නොලබන තැනැත්තිය ; වඳ ගැහැනිය.

වන්නි පරාඝාත

නා.ප්‍ර. විශේෂයෙන් ඇතුන් හික්මවීම සඳහා ගින්නෙන් පෙළීම.