සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1445

වන

1. නා.ප්‍ර. ධාන්‍යාදිය බහා කොටා ගැනීමට ගැනෙන උපකරණය.
2. විනය.
3. සමූහය ; රාශිය.
4. භවයේ උපත ඇති කරන කෙලෙස්.
5. විරහය ; වියෝගය ; වෙන්වීම.
6. ස්වාමිපුරුෂයා හෝ පෙම්වතාගෙන් වෙන් වූ ස්ත්‍රිය ; විරහිනිය ; විරහ දුකින් කල් ගෙවන කාන්තාව.

වන ප්‍රස්ථ

වි. වනයේ තවුස්දම් රැකීම හා සම්බන්ධ.
නා.ප්‍ර. ආරණ්‍යය ; වනයෙහි පිහිටි වාසභූමිය.

වනග

[වන + අග]
නා. වනයෙහි හටගන්නා ගින්න ; ලැව්ගින්න.

වනගත

වි. කැලෑවෙන් වැසී ගිය ; වල් බිහි වූ.

වනගත වෙනවා

ක්‍රි. ආරණ්‍යගත වෙනවා ; ගිහි ජීවිතය අතහෑර තපසට යනවා.

වනගබ

නා. වනයෙන් වැසුණු ප්‍රදේශය ; ඇතුළු වනය.

වනගහනය

නා. ගස්වැලින් ගහන කැලය ; වනරොද ; වන ලැහැබ.

වනඝට

නා.ප්‍ර. වනාන්තරයෙන් වැසී ගිය ප්‍රදේශය.

වනචර

1. වි. කෑලෑවෙහි හැසිරෙන ; වනයෙහි වසන.
2. අශීලාචාර ; අවිනීත.

වනජ

වි. වනයෙහි උපන් ; කෑලවෙහි හටගත්.
1. නා.ප්‍ර. පද්මය ; නෙළුම.
2. කලාඳුරු.

වනජයා

නා. ඇතා.

වනථ

1. නා.ප්‍ර. ජීවත්ව සිටින කාලයේ විපාක දෙන කර්ම.
2. නැවත නැවත උපදනා ආශාව ; තණ්හාව.

වනදුර්ගය

නා. ඝන කෑලෑව නිසා ගමනට අපහසු ප්‍රදේශය.

වනධර

වි. විනය පිටකය කටපාඩම් ඇති ; විනයධර.

වනනවා

1. ක්‍රි. අලංකාර ලෙස විස්තර කරනවා ; වර්ණනා කරනවා.
2. සොලවනවා ; ලෙළවනවා.
3. අදහස නොකියා සඟවා කථා කරනවා ; නොතරව කියනවා.
4. ක්‍රියාකාරී නොවී ඉන්නවා.
5. අතුරනවා.
6. විසුරුවනවා.

වනපති

1. නා.ප්‍ර. වනයට අධිපති වූ ගස ; නුග ගස.
2. වනයට අධිපති වූ සිංහයා.

වනපසමල්

නා.ප්‍ර. වන පාර්ශ්වයෙහි මල් ; කැලෑ මල්.

වනපෙත

නා. දිගට විහිදීගිය කැලෑව ; වන සමූහය ; වනරොද.

වනපෙළ

1. නා. වන පන්තිය ; වන සමූහය.
2. විනය පාළිය.

වනපොත් කරනවා

ක්‍රි. ඇසූ හෝ කියවූ දෙයක් එලෙස ම ධාරණය කරගන්නවා ; කටපාඩම් කරගන්නවා.

වනම

1. නා. කෑලෑ ප්‍රදේශය.
2. ගම්බද පෙදෙස; පිටිසර.
3. පේරුව ; කොටස.
4. කුලය.
5. කර්මාන්ත කරන කුලය.

වනම ඉනම

නා. කුලය, පෙළපත් ආදි තොරතුරු , කුලගොත් පිළිබඳ වංහුං.

වනය

1. නා. ගස්වැල් ඝනව වැඩුණු වල් සතුන් වසන භූමි ප්‍රදේශය ; කෑලෑව.
2. වතුර ; දිය.
3. පොකුණ.

වනරකුසා

නා. වනයේ වසන රාක්ෂසයා.