සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1444

වදය

1. නා. ගව ආදී සතුන් කොටු කර තබන තැන ; ගාල ; ගවමඩුව.
2. ගවාදි සතුන්ගේ කරේ බඳින පටිය.
3. මී මැසි ආදීන්ගේ කූඩුව ; පටලය.
3. හිරිහැරය ; හිංසාව.

වදල

1. නා. ගස්වැල් වලින් මුවාවූ ස්ථානය ; වදුල.
2. වැහි සහිත කාලය.

වද්ද

නා. වැරැද්ද ; දෝෂය.

වද්‍ය

වි. වැරැදි ; දොස් සහිත.
නා.ප්‍ර. වරද ; දෝෂ.

වද්‍යාවද්‍ය

වි. ලොකු කුඩා වැරදි පිළිබඳ.
නා.ප්‍ර. ලොකු කුඩා වැරැද්ද.

වදාරනවා

ක්‍රි. දේශනා කරනවා ; පවසනවා ; කියනවා.

වදාහිමිය

නා. උඩරට නීතිය අනුව මව් පරපුරෙන් දරුවන්ට ලැබෙන දේපල අයිතිය.

වදිනවා

1. ක්‍රි. ඇතුළු වෙනවා ; පිවිසෙනවා.
2. එකිනෙකා ගැටෙනවා ; හැප්පෙනවා.
3. පාඩු වෙනවා ; හානි වෙනවා.

වදුන්තෙල

නා. කරත්ත රෝද කැරකීම පහසු වීම සඳහා පූනුවට දමන තෙල්.

වදුර

1. නා. පැරණි ශිලාලේඛන නාම ඇතුළත් පොත.
2. නිදන් වස්තු හා රහස් බෙහෙත් ආදිය පිළිබඳ විස්තර සහිත පුස්කොල පොත.

වදුරස්න

නා.ප්‍ර. වජ්‍රාසනය.

වදුරුත්

නා.ප්‍ර. දූ කෙළින්නා ; ධූර්තයා.

වදුල

1. නා. ගස්වැල් ගාල ; හිරුරැස් නොවැටෙන සෙවණ.
2. වැහි වලාකුළු නිසා වන අඳුර.
3. උඩැක්කියේ එක පැත්තකට දමන සිනිඳු හම.
4. නිදන් වස්තු ආදිය පිළිබඳ විස්තර ඇතුළත් පුස්කොළ පොත.

වධ බන්ධනය

නා. බරපතල දඬුවම ; වධ දීම.

වධ බෙරය

නා. වරද කළවුන් වධයට ගෙන යන විට හා වධ දෙන විට ගසන බෙරය.

වධක

වි. නැසීම හා වදහිංසා කිරීම සම්බන්ධ.
නා.ප්‍ර. ; හිංසාව ; පීඩාව ; වධය.

වධක භාරියාව

නා. ස්වාමි පුරුෂයාට වධහිංසා කරන විවාහක ස්ත්‍රිය.

වධකයා

නා. රාජ නියෝගය මත වධ පමුණුවන්නා ; අලුගෝසුවා.

වධය

1. නා. බරපතල දඩුවම ; මරණය.
2. නක්ෂත්‍ර යෝගයක්.

වධ්‍ය

වි. වධ කටයුතු ; දඬුවම් දිය යුතු.

වධු

1. නා.ප්‍ර. ස්ත්‍රිය ; වැඩිහිටිවිය පත් කාන්තාව.
2. අලුත විවාපත් කාන්තාව.

වධු ජනයා

නා.බහු. ස්ත්‍රී සමූහයා.

වධුකමලා

නා.ප්‍ර. සිරිකත ; ලක්ෂ්මිය.

වධුපති

නා.ප්‍ර. ස්වාමි පුරුෂයා , විවාපත් කාන්තාවගේ සැමියා.