සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1473

ව්‍යක්ත

1. වි. උගත් ; වියත් ; දක්ෂ ; හසළ.
2. ප්‍රකට ; පැහැදිලිව පෙනෙන.

ව්‍යක්ත නියමය

නා. පැහැදිලි නිගමනය ; ප්‍රකට තීරණය.

ව්‍යක්ත භාවය

නා. දක්ෂකම ; පෘථූල බුද්ධියෙන් යුක්ත බව.

ව්‍යක්තාග්‍ර

[ව්‍යක්ත + අග්‍ර]
වි. උගත්කමින් අගතැන් පත් ; වියත් බැවින් උසස් වූ.

ව්‍යක්තාලම්බනය

[ව්‍යක්ත + ආලම්බනය]
නා. පැහැදිලි බව ; දීප්තිමත් භාවය ; බබළන ස්වභාවය.

ව්‍යක්ති පක්ෂය

නා. පැහැදිලි පැත්ත ; ප්‍රකට පැත්ත.

ව්‍යක්ති ප්‍රවෘත්තිය

නා. (සත්ව.) පෞද්ගලික ජීවියකුගේ විකසනාත්මක ඉතිහාසය.

ව්‍යක්තිකරණය

නා. පැහැදිලි කිරීම ; නිරූපනය කිරීම.

ව්‍යග්‍ර

1. වි. අතිශයින් කරන ; ආසක්ත.
2. එකඟ නොවූ.
3. කලබල සහිත.

ව්‍යග්‍රතාව

නා. කලබල සහිත වීම ; බියපත් වීම ; හිත වෙනතක යොමු කරවීම.

ව්‍යඞ්ගජ

නා.ප්‍ර. අශෝභන වූ ගෙය.

ව්‍යජන කෘත්‍යය

නා. විජිනිපතින් කරන දෙය ; පවන් සැලීම.

ව්‍යජනය

නා. විජිනිපත ; වට අත්ත.

ව්‍යජෘම්භිත

වි. වැජඹුණු ; විරාජමාන වූ.

ව්‍යඤ්ජන

වි. ප්‍රකට කරන ; පැහැදිලි කරන ; මැනවින් දක්වන.

ව්‍යඤ්ජන කාය

නා.ප්‍ර. අක්ෂර සමුදාය ; ගාත්‍රාක්ෂර සමූහය.

ව්‍යඤ්ජන පදය

1. නා. අක්ෂර එකතුවෙන් සෑදෙන පදය.
2. ව්‍යවහාර අර්ථය ; මතුපිට පැහැදිලි අදහස.

ව්‍යඤ්ජන ලක්ෂණය

නා. නිමිති ලකුණ ; විශේෂ සටහන.

ව්‍යඤ්ජන විභාගය

නා. පදවල අක්ෂර යෙදීම් ; පදවල අක්ෂර යෙදෙන පිළිවෙල.

ව්‍යඤ්ජන සන්ධිය

නා. ගාත්‍රාක්‍ෂරයක් මුල් කරගත් පද දෙකක් සන්ධිවීමේ ක්‍රමය.

ව්‍යඤ්ජන සම්පන්න

වි. මනා පද ශබ්දයෙන් යුක්ත ; යහපත් ශබ්ද ඇති (බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනය සම්බන්ධයෙනි.)

ව්‍යඤ්ජනච්ඡායාව

නා. අකුරු වලින් දැක්වෙන අදහස ; මතුපිටින් පෙනෙන තේරුම.

ව්‍යඤ්ජනය

1. නා. ප්‍රකට දෙය ; ලක්ෂණය.
2. ව්‍යඤ්ජන අකුර හෙවත් ගතකුර.