සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 148

අභිලාෂය

නා. තද ආශාව; කැමැත්ත; අනුරාගය.

අභිලේඛනය

(පාරිභා.) නා. පෞරාණික ලේඛනය (=epigraphy); රන්, රිදී, තඹ ආදි ලෝහ පත්වල හෝ ගඩොල්, ගල්තලාවල හෝ පුස්කොළ ආදි පත්‍රවල හෝ ලියන ලද පෞරාණික ලේඛනය.

අභිවදන්

නා.ප්‍ර. ආශීර්වාද වචන; ගෞරවාන්විත වචන; ප්‍රියජනක වදන්.

අභිවන්දනය

නා. ගෞරව සම්ප්‍රයුක්ත නමස්කාරය; වැඳීම.

අභිවය

නා.ප්‍ර. තරුණ වයස; යෞවනය.

අභිවර්ධන

වි. වැඩි දියුණු වන; අභිවෘද්ධියට පත් වන.

අභිවර්ෂණය

1. නා. වැහි වැටීම; වර්ෂණය.
2. නා. මනා සේ මල්, ආදිය ඉසීම.

අභිවහනය

(පාරිභා.) නා. වාතයේ තිරස් චලනයෙන් සිදුවන තාපයේ සංක්‍රමණය (=advection).

අභිව්‍යක්ත

වි. අතිශයින් ප්‍රකට; ඉතා පැහැදිලි; ප්‍රත්‍යක්ෂ.

අභිව්‍යඤ්ජක

වි. මැනවින් ප්‍රකාශ කරන; දක්වන.

අභිව්‍යාපක

වි. හාත්පස පැතිර පවතින; විසිර ඇති; අවට විහිදෙන.

අභිව්‍යාප්තිය

නා. බෙහෙවින් පැතිර පැවැත්ම.

අභිවාහි

(පාරිභා.) වි. ගෙන එන; වෙතට ගෙනෙන; අභිවහනය කරන; අන්තර්වාහී; සංවේදක; තිරස්ගතික (=advective, advehent, afferent, incurrent, inhalant).

අභිවික්‍රමය

නා. අතිපරාක්‍රමය; මහත් වීර්යය.

අභිවිඤ්ඤාණය

නා. ශ්‍රේෂ්ඨ වූ ඥානය.

අභිවිධිය

නා. (ව්‍යාක.) ව්‍යාප්ත කොට ප්‍රවෘත්ත කිරීම; පිරිසිඳි හෙවත් සීමා කරනු ලැබූ වස්තුවක් සමග ම ගනු ලබන සීමාව; යමක් යම් ශ්‍රේණියකට නිශ්චිත ව ඇතුළු කොට ගනු ලබන සීමාව.

අභිවිරක්ත

වි. බෙහෙවින් නොඇලුණු; අතිශයින් රාග රහිත; බොහෝ කලකිරුණු.

අභිවෘද්ධ

වි. බොහෝ දියුණු; දියුණුවට පත්; වැඩුණු.

අභිවෘද්ධිදායක

වි. දියුණුවට හේතු වන.

අභිවෘද්ධිය

නා. අතිශය දියුණුව; වැඩීම; වැඩි දියුණුව; සමෘද්ධිය.

අභිශඞ්කාව

නා. බලවත් සැකය; දැඩි අවිශ්වාසය.

අභිශෝෂණය

1. (පාරිභා.) නා. පෝෂ්‍යභාවය ඇද ගැනීම හෙවත් උරා ගැනීම (=absorption).
2. නා. වියළී යෑම; වර්ෂණ ජලය මිනිස් ක්‍රියාකාරීත්වය නිසා රූරා බැසීම (=exsiccation).

අභිෂඞ්ගය

1. නා. ඇල්ම; ආශාව; අභිලාෂය.
2. නා. ආක්‍රෝශය; මිථ්‍යාපවාදය; පිරිහීම;ව්‍යසනය; ශාපය.
3. නා. කාම, ශෝක, භය, ක්‍රෝධාදියෙන් පෙළීම; යක්ෂාදි අමනුෂ්‍යාවේශයෙන් ඇති වන ජ්වරය.

අභිෂික්ත

වි. ඉසින ලද; අභිෂේක කරන ලද.