සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 149

අභිෂේකධර

වි. ඔටුනු දරන; ඔටුනු පලන්; අභිෂේකය දරන.

අභිෂේකය

1. නා. රජකමට පත් කිරීම; රජකුමරකු රාජපදප්‍රාප්ත කරවීමේ දී මතුරන ලද ජලය හිසට වත්කිරීමෙන් රාජත්වය ප්‍රකාශ කිරීම.
2. නා. ඉසීම.
3. (ක්‍රිස්ති.) නා. ආලේපය; විලේපය (=unction).
4. (ක්‍රිස්ති.) නා. පවිත්‍ර කිරීම; ශුද්ධිය ප්‍රතිෂ්ඨාපනය; කැප කිරීම (=consecration).

අභිෂේකෝදකය

[අභිෂේක + උදකය]
නා. අභිෂේෂ්ක ජලය; ඔටුනු පැලඳවීමේ උත්සවයේ දී අභිෂේකය පිණිස ගන්නා (ශුද්ධ ගංගාවල) ජලය.

අභිසංස්කරණය

1. නා. මනා සේ සකස් කිරීම; පිළියෙල කිරීම; සම්පාදනය කිරීම.
2. නා. කුසලාකුසල කර්ම රැස් කිරීම.

අභිසංස්කාරය

1. නා. මනා සේ සකස් කිරීම; පිළියෙල කිරීම.
2. (ව්‍යාක.) නා. නවාංගයක් ගෙන දීම; උත්කර්ෂ කිරීම; අතිශයාරෝපණය.
3. නා. ගරු බුහුමන් දැක්වීම; පුද පූජා කිරීම.
4. (අභි.) නා. කර්ම රැස් කිරීම.

අභිසංස්කෘත

වි. මනා සේ සකස් කරන ලද; පිළියෙල කරන ලද; සංවර්ධනය වූ; දියුණු වූ.

අභිසඞ්ඛත

වි. උසස් අයුරින් සාදන ලද; පිළියෙල කළ; සකස් කළ.

අභිසජ්ජිත

වි. මනා ලෙස සරසන ලද; විශිෂ්ට ලෙස අලංකාර කරන ලද.

අභිසන්ධානය

නා. විශිෂ්ට ආකාරයෙන් සම්බන්ධ කිරීම; එකතු කිරීම; සන්ධි කිරීම.

අභිසමය

නා.ප්‍ර. ප්‍රතිවේධය; බුද්ධ ධර්මය හා චතුරාර්ය සත්‍ය ධර්ම පිරිසිඳ දැන ගැනීම; මාර්ග ඵලාවබෝධය.

අභිසමයඥානය

නා. චතූරාර්ය සත්‍යය පිරිසිඳ දැන ගැනීමේ නුවණ; ප්‍රතිවේධ ඥානය.

අභිසම්බන්ධය

නා. මනා ගැළපීම; සම්බන්ධය; සංයෝගය.

අභිසම්බුද්ධ

වි. විශිෂ්ට අවබෝධය ලත්; බුද්ධත්වයට පැමිණී.

අභිසම්බෝධිය

නා. බුද්ධත්වය; බුදු බව; සම්මාසම්බෝධිය.

අභිසම්භවය

නා. විශිෂ්ට උපත; උත්පත්තිය; සම්භවය.

අභිසම්මත

වි. විශිෂ්ට සේ පිළිගත්; මැනැවැයි සම්මත.

අභිසමාචාරය

නා. අධිශීල ශික්ෂාවට ඇතුළත් උත්තම සමාචාර; ශ්‍රේෂ්ඨ වූ හැසිරීම.

අභිසරණය

(පාරිභා.) නා. පොදු කේන්ද්‍රසථානයක් හෝ ලක්ෂ්‍යයක් හෝ මත එක් වීම (=convergence).

අභිසරයා

නා. අනු ව හැසිරෙන්නා; අනුචරයා.

අභිසර්ග

(පාරිභා.) වි. අනෙක් ලිංගිකයාගේ සිත ඇදී යන (=epigamic).

අභිසර්පණය

(පාරිභා.) නා. පෘථිවි අක්ෂයේ දෝලනාත්මක චලනය; වැඩෙන ශාකවල කඳන්හි, පත්‍රයන්හි අග වෘත්තාකාර ව පැද්දෙන ස්වභාවය (=Nutation).

අභිස්පන්දනය

(පාරිභා.) නා. හෘදයෙහි ස්පන්දනය වැඩි වීම (=palpitation).

අභිසාමග්‍රිය

නා. එක් කිරීම; ඒකරාශි කිරීම.

අභිසාරිකාව

නා. අනාචාරයෙහි හැසිරෙන ස්ත්‍රිය; කාම සේවනය සඳහා පුරුෂයන් සම්මුඛ වීම පිණිස යන්නා වූ කාන්තාව.