සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1550

විවාදය

1. නා. (දෙපක්ෂයක් අතර) තමන් ගත් මතය පිළිබඳ තර්ක විතර්ක වශයෙන් කෙරෙන කථා බහ ; විරුද්ධ වාදය.
2. (දෙපක්ෂයක් හෝ දෙදෙනෙක් අතර වචන මාර්ගයෙන් ඇති වන) කෝලාහලය ; බහින් බස් වීම ; කලහය.

විවාදශීලී

වි. වාද විවාදයට රුචි ; තර්ක විතර්ක කරන සුලු.

විවාදාධිකරණය

නා. විවාදය ලක්ෂණය කරගත් භික්ෂූන්ගේ අධිකරණය.

විවාදාපන්න

වි. විවාදයට පිවිසි ; විවාදයට තුඩු දුන්.

විවාපත්

වි. විවාහ දිවියට ඇතුළත් වූ.

විවාර

1. නා.ප්‍ර. විවෘතව පිහිටීම.
2. විවෘතව උච්චාරණය වන අකුර ; සංවෘත නොවූ අකුර.

විවාලයා

නා. වලිගයක් නැති උභය ජීවියා.

විවාසනය කරනවා

ක්‍රි. රටකින් පිටුවහල් කරනවා.

විවාහ ගිවිසුම

නා. ස්ත්‍රියක හා පුරුෂයකු අතර සරණ බන්ධනය සඳහා ඇති කරගන්නා නීති ප්‍රකාර එකඟතාව.

විවාහ නඩුව

නා. විවාහයක් සම්බන්ධයෙන් පවරන ලද නඩුව ; කසාද නඩුව.

විවාහ මඞ්ගල්‍යය

නා. විවාහය නිමිත්තෙන් පවත්වන උත්සවය.

විවාහ සහතිකය

නා. විවාහයක් නීත්‍යනුකූලව සිදු වූ බවට සහතික කරන ලියවිල්ල.

විවාහකයා

නා. විවාහ පුද්ගලයා.

විවාහය

නා. පුරුෂයකු හා ස්ත්‍රියක අතර සිදු වන සරණ බන්ධනය ; ස්වාමියා සහ භාර්යාව වශයෙන් නීත්‍යනුකූලව එක්වීම.

විවාහාභිමුඛ

වි. විවාහය බලාපොරොත්තුවෙන් සිටින.

විවැරුම් පේශිය

(පාරිභා.) නා. විවෘත කිරීමේ නිරත පේශිය.

විවි

නා.ප්‍ර. වස්ත්‍රය.

විවික්ත

1. වි. විවේකය පිළිබඳ වූ ; විවේකී.
2. ජනයා නැති වූ, ජන ශුන්‍ය.
3. වෙන් වූ ; දුරු වූ ; දුරු කළා වූ.

විවික්ත කරණය

(පාරිභා.) නා. එකිනෙකින් වෙනස් කොට හඳුනා ගැන්ම.

විවික්ත ශය්‍යා

නා.ප්‍ර. විවේකී ව විසීම.

විවිත්

1. වි. විවේකයෙන් යුතු ; විවේකී.
2. ජනයාගෙන් හිස් වූ.

විවිධ

වි. නොයෙක් ආකාර වූ ; නන් වැදෑරුම් වූ.

විවිධ ප්‍රසංගය

නා. නැටුම්, ගැයුම්, වැයුම් ආදි අංගවලින් යුක්ත නාට්‍ය උත්සවය.

විවිධ සේවා

වි. බොහෝ සේවා සිදු කරන්නා වූ.