සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1551

විවිධත්වය

නා. නොයෙක් ආකාරය ; විවිධාකාරය.

විවිධද්‍යුති

නා.ප්‍ර. නොයෙක් ආකාර රශ්මිය.

විවිධරස ලම්බිනී

වි. නොයෙක් රස කෙරෙහි එල්බීම සහිත වූ.

විවිධාංගකරණය

නා. අනේක ප්‍රකාර අංග ඇති කිරීම; විවිධාකාර අංග සහිත කිරීම.

විවිධාකාර

වි. නොයෙක් ආකාර ; නානා ප්‍රකාර.

විවිධාරම්මණ

නා.ප්‍ර. නොයෙක් අරමුණු ; නානා අරමුණු.

විවිධෝපහාස

නා.ප්‍ර. නොයෙක් උපහාස.

විවිල්ල

නා. විදීම ; හිල් කිරීම.

විවෘත

1. වි. වසා නැති ; නොසැගවුණු ; ආවරණය නොකළ.
2. භාෂාවේ ශබ්ද කිරීම පිළිබඳ ස්ථාන කරණ යන දෙක ඉතා ඈත් ව උච්චාරණය වන.

විවෘත අස්ථිභංගය

නා. සමින් පිටතට ඇරුණු තුවාලයක් සහිතව ඇට බිඳී යාම.

විවෘත උසාවිය

නා. රහසිගතව සාක්ෂ්‍ය ඇසීම නොකරන අධිකරණය.

විවෘත ඌෂ්මක

(පාරිභා.) නා.ප්‍ර. වානේ උණු කිරීම සඳහා ගැනෙන නොවැසූ උදුන.

විවෘත කරනවා

1. ක්‍රි. අරිනවා ; වැස්ම ඉවත් කරනවා.
2. අලුතින් යමක් පටන් ගන්නවා.

විවෘත නළය

නා. දෙකෙළවර ම විවෘතව පවත්නා බටය.

විවෘත පරිපථය

(පාරිභා.) නා. සාමාන්‍ය අන්දමින් විදුලි ධාරාව ගලා යා හැකි පරිපථයට සම්පූර්ණ නොවීමේ හේතුවෙන් විදුලිය බෙදා හැරීමක් සිදු නොවන අවස්ථාව.

විවෘත බීජාණුව

(පාරිභා.) නා. බීජාණු වැස්මෙන් නොවැසී පවත්නා ප්‍රාග් ජීවීන්ගේ බීජ අණුව.

විවෘත වරෙන්තුව

නා. දුටු තැන ඇල්ලීමේ උසාවි නියෝගය.

විවෘත විශ්වවිද්‍යාලය

(නව.) නා. විශේෂ සුදුසුකම් නැතිව රැකියා ආදියෙහි යෙදී සිටිමින් උසස් අධ්‍යාපන උපාධි ඩිප්ලෝමා ආදිය සඳහා ඉගෙනීම කළ හැකි සරසවිය.

විවෘත වෙළඳපොළ

1. නා. මහ බැංකුව සිය සුරැකුම්පත් විකිණීම හා මිලදී ගැනීමේ කටයුතු සිදුවන වෙළඳපොළ.
2. ඉල්ලුමේ හා සැපයුමේ තරගකාරී බව නිසා මිල නියම වන වෙළඳ ආයතනය.

විවෘතක්ලෝමී

(පාරිභා.) වි. මෝරුන්, මඩුවන් අයත් වන මත්ස්‍ය වංශය පිළිබඳ වූ.

විවෘතචෙක්පත

නා. මාරු කිරීම සීමා කර නැති චෙක්පත.

විවෘතණයකරය

නා. උකසකින් ආරක්ෂා වී නැති ණයකරය.

විවෘතනිශ්‍රිත දානය

නා. ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙනු ලබන දානය.

විවෘතබීජකය

(පාරිභා.) නා. නොවැසුණු ඩිම්බකෝෂය තුළ බීජ වැඩීම ලක්ෂණය වූ ශාකය.