සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1639

ශුල්ක මණ්ඩලය

නා. සුංවත් හෙවත් බදු අය කරන නිලධාරි මඬුල්ල.

ශුල්බාරි

නා. මූල ධාතුවක් වන ගෙන්දගම්.

ශුල්බාරිකාම්ල

[ශුල්බාරික + අම්ල]
නා.ප්‍ර. තද අම්ල ස්වභාවයෙන් යුක්ත වූ ජලයෙහි ද්‍රාවණය වන අවර්ණ ද්‍රවයක් වන සල්ෆියුරික් අම්ලය.

ශුශ්‍රැෂා

නා.ප්‍ර. ඇහුම්කන් දීමට ඇති කැමැත්ත ; අසා සිටීමේ ආශාව.

ශුෂ්ක

1. වි. වේළී ගිය ; වියළි.
2. හිස් ; හරයක් නැති.
3. කෙලෙසුන් නැති කළ.

ශුෂ්ක කාරකය

නා. ද්‍රව්‍යවල තිබෙන ද්‍රව ප්‍රමාණය සම්පූර්ණයෙන් ම ඉවත් කොට ජලශූන්‍ය කිරීම සඳහා යොදාගනු ලබන උපකරණයක් ; ඩෙසිකේටරය.

ශුෂ්ක ගර්ජනාව

1. නා. වැස්සෙන් තොර මේඝ ගර්ජනාව.
2. ප්‍රතිඵල රහිත කෑගැසීම.

ශුෂ්ක විදර්ශක

වි. මාර්ග ඥානයෙන් කෙලෙස් වියළා නසා, විදර්ශනා භාවනාවෙන් අධිගමයට පත් ; අධිගමය මිස ධ්‍යාන බලය නැති.

ශුෂ්ක විදර්ශකයා

නා. ආශ්‍රවක්ෂය ඥානයෙන් පමණකින් කෙලෙසුන් මුළුමනින් සුන් කළ රහත් උතුමා.

ශුෂ්කජීවි පැළෑටිය

නා. වියළි පරිසරයේ වැඩෙන ශාකය ; ශුෂ්ක ශාකය.

ශුෂ්කතාව

නා. වියළිබව ; නිර්ජලීයත්වය ; නිරුදක භාවය ; නිසරු බව.

ශුෂ්කපත්‍රී

වි. අල්ප ජල ප්‍රමාණයක් ඇති ප්‍රදේශවල වැඩෙන.

ශුෂ්කරූපී

වි. ශුෂ්ක ස්ථානවල වැඩෙන ශාක විශේෂවලට පොදු ලක්ෂණවලින් යුක්ත ; ශුෂ්ක උද්භිද ආකාර.

ශුෂ්කාඤ්ජලී

1. නා.ප්‍ර. හිස් ඇඳිලිය ; හිස් අත.
2. අකෘතඥතාව.

ශුෂ්කීකරණය

නා. තෙත් ගතිය ඇති ද්‍රව්‍ය ප්‍රමාණවත් උෂ්ණත්වයෙහි ලා වියළා ගැනීම.

ශුෂ්ණය

1. නා. ඉර ; සූර්යයා.
2. ගින්න.

ශුෂ්මය

1. නා. එළිය ; ආලෝකය.
2. දීප්තිය.
3. බලය ; ශක්තිය.

ශුෂිර

වි. සිදුරු සහිත ; නළයෙන් යුතු ; සචිද්‍ර.
නා.ප්‍ර. වාත ධාරාවක් මඟින් නාද කරවන තූර්ය භාණ්ඩය ; වස්දණ්ඩ ; නළාව.

ශූකර මර්දවය

1. නා. හතු විශේෂයක්.
2. ළපටි උණගොබ විශේෂයක්.
3. ළපටි ඌරු මස් ; සූකර මද්දවය.

ශූකරිකයා

නා. ඌරු මස් වෙළෙන්දා.

ශූකිකාව

(පාරිභා.) නා. තණකොළ ආදියෙහි විශාල පුෂ්පමංජරියක කොටසක් වන කුඩා ශූකිය.

ශූකිය

(පාරිභා.) නා. දික් අක්ෂය ; දිගට නිර්වෘන්ත මල් හෝ ශූකිකා හෝ පිහිටීමෙන් සෑදෙන වී කරලක් වැනි පුෂ්ප මංජරිය.

ශූන

වි. උඩට නෙරා සිටින ; ඉදිමුණු ; ස්වභාවික ප්‍රමාණයට වඩා මහත් වූ.

ශූනතා පීඩනය

නා. සෛලයක් තුළ ඇති ජලය සෛල ශක්ති කෙරෙහි ඇති කරන පීඩනය.