සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1638

ශුද්ධ ලාභය

නා. සියලු අඩුකිරීම්වලින් පසු ඉතිරිවන හුදු ලාභය.

ශුද්ධ වර්ණපටය

(පාරිභා.) නා. ත්‍රිපාර්ශ්ව වීදුරුවක් මැදින් රශ්මියක් යැවූ විට බෙදී යන වර්ණ මාලාව.

ශුද්ධතාවාදය

නා. භාෂා ව්‍යවහාරයෙහි නිවැරදි බව ඇති විය යුතු ය යන පිළිගැනීම.

ශුද්ධාචාරී

නා.ප්‍ර. ලෝහ කර්මාන්තයෙහි යෙදෙන කර්මාන්තකාරයා.

ශුද්ධාත්මය

නා. ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේ පිළිබඳ ශුද්ධ වූ ත්‍රිත්වයෙන් තුන්වැන්න ; ශුද්ධ වූ ස්ප්‍රීතු සාන්තුව.

ශුද්ධාවාසය

නා. අනාගාමී මාර්ග ඵලයට පැමිණ මිය යන උතුමන් උපදින බ්‍රහ්මලෝකවලින් එකක්.

ශුද්ධාසනය

නා. (ක්‍රිස්ති.) රෝමයේ පාප්තුමාගේ තනතුර, බලය හා රාජ්‍යය.

ශුද්ධිපත්‍රය

1. නා. ග්‍රන්ථයක දෝෂ සහිතව මුද්‍රිත ස්ථාන නිවැරදි කොට දක්වන ලේඛනය.
2. මුද්‍රණය කරනු ලබන්නක වැරැදි හරිගස්සාදීම සඳහා දෙනු ලබන මුද්‍රිත පිටපත.

ශුද්ධිය

1. නා. පිරිසිදුකම ; පවිත්‍රත්වය.
2. සංස්කරණය ; සංශෝධනය.
3. වමන, නස්‍ය, විරේචන යන ක්‍රමවලින් ශරීර මලය පහ කිරීම.
4. ඩෝලය වාදනය කරන පද විශේෂ පහෙන් එකක්.
5. විෂ සහිත ඖෂධ ද්‍රව්‍යවල විෂ ඉවත් කිරීම.
6. ඔසප් වීම.

ශුද්‍රයා

1. නා. පුරාණ භාරතයේ පැවති වර්ණ සතරෙන් පහත්ම වර්ණයට අයත් තැනැත්තා.
2. පහත්ම වර්ගයට අයත් නයා.

ශුනක

වි. බල්ලන් පිළිබඳ වූ ; බල්ලන්ට අයත් ; බලු.

ශුභ

වි. හොඳ ; යහපත්.
1. නා.ප්‍ර. සිදුහත් කුමරුන්ගේ වාසය සඳහා තුන් සෘතුවට ම සුදුසු වන සේ සාදන ලද ප්‍රාසාද තුනෙන් එකක නාමය.
2. කේන්ද්‍රයක නව වන භාවය.
3. යසලාලකතිස්ස රජු මරා රජ වූ දොරටුපාලයා.

ශුභ චන්ද්‍රයා

නා. (ජ්‍යෝති.) පුර අටවක සහ අව අටවක යන දෙක අතර කාලය තුළ සිටින පාප දෘෂ්ටියෙන් හා පාප සංයෝගයෙන් තොර චන්ද්‍රයා.

ශුභවාදී

වි. සියල්ල යහපතට සිදු වෙතියි සිතන ; සෑම දෙයක ම හොඳ පැත්ත දකින.

ශුභසාධක

වි. යහපත සලසා දෙන ; ශුභසිද්ධිය සාදා දෙන.

ශුභසිද්ධිය

නා. යහපත ; දියුණුව.

ශුභ්‍ර

1. නා.ප්‍ර. සුදු හඳුන්.
2. ලෝහ වර්ගයක් වන රිදී.
3. ඛනිජ වර්ගයක් වන මිනිරන්.

ශුභ්‍රකර

වි. සුදු රැස් ඇති ; ධවල රශ්මි සහිත.

ශුභාගමන ප්‍රශ්න

නා.ප්‍ර. දුර සිට ආ අමුත්තකු පිළිගැනීමේ දී සුවදුක් විචාරීමට අසන පැන ; ස්වාගත තොරතුරු.

ශුභාරංචිය

නා. (ක්‍රිස්ති.) 1. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කථාව.
2. අලුත් තෙස්තමේන්තුවේ මුල් පොත් හතරෙන් කවර හෝ පොතක්.
3. සතුටුදායක පුවත ; මංගල පණිවිඩය.

ශුභාශංසනය

නා. යහපතක් වේවායි පැතීම ; ආශිර්වාදය.

ශුලය

1. නා. උල ; අනින ආයුධය ; හෙල්ල.
2. දැවිල්ල ; රුජාව.

ශුල්ක

වි. සුංගම් හෙවත් බදු හා සම්බන්ධ.
නා.ප්‍ර. නැව්තොටු ආදියෙහිදී ගෙවන තීරු බද්ද.

ශුල්ක ග්‍රහණ

නා.ප්‍ර. තීරු ගාස්තු අයකර ගැනීම ; සුංවත් ගැනීම.