සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1637

ශුක්‍රාණුක

(පාරිභා.) වි. පුරුෂ බීජය හා සම්බන්ධ.

ශුක්‍රාණුක රජ්ජුව

(පාරිභා.) නා. උදර කුහරය තුළට වෘෂණය යා කරන සංකෝචන රැහැන.

ශුක්‍රාණුක සෛලය

(පාරිභා.) නා. ශුක්‍රධානියේ බිත්තියෙන් විකසනය වන පුංජන්මාණුව ; ශුක්‍ර බීජය.

ශුක්‍රාණුධානිධරය

(පාරිභා.) නා. ශුක්‍රාණුධානි සෑදීම පිණිස උපයෝගී වන ශාඛා පද්ධතිය.

ශුක්‍රාණුධානිය

(පාරිභා.) නා. ජීව බිංදු ජනක ජන්මාණුධානිය ; ඇන්තරිඩිය.

ශුක්‍රාණුව

නා. ශුක්‍ර ධාතුවේ තිබෙන පුරුෂ බීජය ; ශුක්‍ර බීජය.

ශුකිකාව

(පාරිභා.) නා. ශූකිතාව බ.

ශුකිය

(පාරිභා.) නා. ශූකිය බ.

ශුකී පුෂ්පය

(පාරිභා.) නා. කැන් මෙන් ඉල්ලා වැටෙන පුෂ්ප මංජරිය.

ශුකේන්ද්‍රිය

(පාරිභා.) නා. ප්‍රජනනේන්ද්‍රිය වන වෘෂණය ; ජනක ශෛල ග්‍රන්ථිය.

ශුචිය

1. නා. පිරිසිදු බව ; පවිත්‍ර බව.
2. ගිනිදැල්ල ; ගින්න.

ශුචිසල්ලේඛ වෘත්ති

නා.ප්‍ර. කෙලෙස් දුරුකොට ලබන පිරිසිදු පැවැත්ම ; පිරිසිදු සැහැල්ලු පැවැත්ම.

ශුණ්ඩය

1. නා. ඇතාගේ හොඬවැල ; ශුණ්ඩාව.
2. මල්පැණි හෝ ලේ උරාබීමට ඇතැම් කෘමීන්ට පිහිටා ඇති තුඩ.

ශුණ්ඩාවතලය

(පාරිභා.) නා. ඇතැම් කෘමීන්ගේ ශ්‍රෝණි ඵලකයෙහි ජඝන පසුපස ද්වාර දෙකෙන් ප්‍රවේශ වන මස් පිඬුව.

ශුද්ධ

1. වි. පිරිසිදු ; පවිත්‍ර ; නිර්මල.
2. නොකැලැල් ; අමිශ්‍ර.
3. පිදිය යුතු.
4. සියලු අඩු කිරීම්වලින් පසු ඉතිරි වූ ; කේවල ; තනිකර.
5. නිවැරදි.
6. ආපත්ති රහිත ; විනයානුකූල.

ශුද්ධ අවකලය

(පාරිභා.) නා. අවිච්ඡින්න ව වෙනස් වන රාශියක යාබද අගය දෙකක ඉතා කුඩා නිශ්චිත වෙනස.

ශුද්ධ ආලේපනය

නා. ක්‍රිස්තියානි ආගමික චාරිත්‍රයක් වන ප්‍රසාද දානය ; තෛලයෙන් ආලේප කිරීම ; ආසිරි පැන් ඉසීම.

ශුද්ධ කර්තෘ

නා.ප්‍ර. (ව්‍යාක.) වාක්‍යයක ක්‍රියාව කරන්නා ඉඳුරා හඟවන පදය.

ශුද්ධ ක්‍රියාව

නා. ව්‍යාකරණයෙහි ධාතු ප්‍රත්‍යය සංයෝගයෙන් සෑදෙන ක්‍රියා අර්ථය පමණක් දෙන හුදු ක්‍රියා රූපය ; ආඛ්‍යාතය.

ශුද්ධ ත්‍රිත්වය

නා. ක්‍රිස්තියානි ආගමේ සඳහන් දෙවියන් වහන්සේ, දේව පුත්‍රයා සහ ශුද්ධාත්මය යන ත්‍රිශුද්ධිය.

ශුද්ධ දිනය

නා. ශුභ දිනය ; නැකැත් දිනය.

ශුද්ධ පවුල

නා. ක්‍රිස්තියානි ආගමේ වක්තෘවරයා අයත් වූ පවුල.

ශුද්ධ බයිබලය

නා. ක්‍රිස්තු ධර්මය ඇතුළත් ධර්ම පුස්තකය.

ශුද්ධ යුද්ධය

නා. ආගම උදෙසා කරන සටන.