සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1636

ශීලී

වි. ස්වභාවය ඇති.

ශුංගීය චෝලය

(පාරිභා.) නා. යෝනිය සම්බන්ධ සියුම් සිවිය සහිත මල්ලක් වැනි වැසී තිබෙන අවයවය.

ශුක

1. නා.ප්‍ර. ගිරවා ; කීර පක්ෂියා.
2. බූව ඇති ධාන්‍ය වර්ගයක්.
3. තොටිල ගස.

ශුකරයා

නා. ඌරා ; සූකරයා.

ශුක්ත

1. වි. වියළි වූ ; ශුෂ්ක වූ.
2. පවිත්‍ර.
3. ඇඹුල්.
4. පිළුණු.
1. නා. ඖෂධීය පානයක්.
2. ඇඹුල් කැඳ.

ශුක්තිය

1. නා. මුතුබෙල්ලා.
2. සිප්පි කටුව ; හක්ගෙඩිය.
3. බර මැනීමේ ඒකකයක නාමය; අඩපලම.

ශුක්ල

1. වි. සුදු ; ශ්වේත.
2. යහපත් ; ශුභඵල ගෙනදෙන ; කුශල පාක්ෂික.
3. චන්ද්‍ර මාසයේ පුර පක්ෂයට අයත්.
1. නා.ප්‍ර. ශුභඵල ; යහපත.
2. ශුක්‍ර ධාතුව.

ශුක්ලා

නා.ප්‍ර. ඇසෙහි කළු ඉංගිරියාව වටා ඇති සුදු ස්තරය ; ශ්වේත මණ්ඩලය.

ශුක්‍ර

1. නා.ප්‍ර. පුරුෂ ශරීරයෙහි ප්‍රජනන අවයවවල හටගන්නා ජීවාණු අඩංගු තරල ; පුරුෂ ධාතුව.
2. සිකුරු ග්‍රහයා සහ ග්‍රහ දෙවියා.

ශුක්‍ර ආශයිකාව

(පාරිභා.) නා. ශුක්‍ර මඩිය ; විවෘත වන ශුක්‍ර ධාතු රඳා සිටින කෝෂය.

ශුක්‍ර ඇලිය

(පාරිභා.) නා. ශුක්‍ර ස්‍රාවය කරන මාර්ගය.

ශුක්‍ර ගාත

නා.ප්‍ර. ශුක්‍රය නෂ්ට වීම ; නෂ්ටකාමය.

ශුක්‍ර තරලය

(පාරිභා.) නා. ශුක්‍ර ධාතු ද්‍රාවය.

ශුක්‍ර තාරකාව

නා. සිකුරු තරුව.

ශුක්‍ර ධාතුව

නා. ශරීරයෙහි රස ලේ ආදී ධාතු පැසීමෙන් හටගන්නා ප්‍රජනන ශක්තිදායක ධාතු විශේෂය.

ශුක්‍ර ධානිය

(පාරිභා.) නා. ශුක්‍රාණු රැස් කොට තබාගැනීම සඳහා බොහෝ පෘෂ්ඨවංශීන්ට ඇති කෝෂය.

ශුක්‍ර නාලය

(පාරිභා.) නා. වෘෂණයේ සිට ශුක්‍ර ගෙනයන කුඩා නළය ; ශුක්‍ර නාලිකාව.

ශුක්‍ර පියලි

(පාරිභා.) නා. ජනනේන්ද්‍රිය හා සම්බන්ධ ව ඇති ශුක්‍ර රැඳී සිටින පසුම්බිය ; ශුක්‍ර භස්ත්‍රාව.

ශුක්‍ර පුනීලය

(පාරිභා.) නා. ශුක්‍ර ස්‍රාවය කෙරෙන නාලය.

ශුක්‍රධාතු ප්‍රදානය

(පාරිභා.) නා. සත්ත්ව අභිජනනය සඳහා කෘත්‍රිම සිංචන ක්‍රමය ; ශුක්‍ර ඇතුළු කිරීම.

ශුක්‍රමේහය

නා. විසිවැදෑරුම් ප්‍රමේහ රෝගවලින් එකක් ; මුත්‍ර සමග ශුක්‍ර ධාතු පහවීම හා සංසර්ගයෙන් තොරව ඉබේට ම ශුක්‍ර පහවීම.

ශුක්‍රමෝචනය

නා. ශුක්‍ර ධාතු පහවීම.

ශුක්‍රාණු නිකරය

(පාරිභා.) නා. ශුක්‍රාණුවක් බෙදීයාමෙන් ලැබෙන ගෝලාකාර සෛල පුංජය.

ශුක්‍රාණු බීජ ජන්තුව

(පාරිභා.) නා. ශුක්‍රාණුව.