සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1635

ශීර්ෂ රේඛාව

නා. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව, මහපටැගිල්ලටත් දබරැඟිල්ලටත් අතරින් පටන් ගෙන අල්ල හරහා වැටී ඇති රේඛාව.

ශීර්ෂකය

1. නා. හිස ආරක්ෂාවට පළඳින තොප්පිය.
2. හිස්කබල.
3. (පාරිභා.) පුෂ්ප මංජරී විශේෂයක්.
4. සාගරික කවච වර්ගයන් වන සිරිපිඩියාවන්ගේ දණ්ඩ හැර සෙසු කොටස.

ශීර්ෂච්ඡේදනය

නා. හිස ගසා දැමීම ; බෙල්ල කැපීම.

ශීර්ෂණය

(පාරිභා.) නා. සිලෝමිකයන්ගේ සත්ව ශරීරයේ පූර්ව කෙළවරේ හිසක් හට ගැනෙන සේ නෙරා සිටීම ; ඔළුවක් වැනි අවයවයක් ඇති වීම.

ශීර්ෂධර

නා.ප්‍ර. කොඳු නාරටියෙහි හිස දරා සිටින පළමුවැනි කොඳු ඇටය.

ශීර්ෂපෝෂී ගහනය

(පාරිභා.) නා. ශීර්ෂ පෝෂය තුළ ප්‍රසර වැඩීම නිසා අවුල් ජාල බන්ධනයක් නිර්මාණ වීම.

ශීර්ෂපෝෂී වක්‍රය

(පාරිභා.) නා. ශීර්ෂපෝෂීය ධමනියෙහි දුන්නක හැඩය ඇති ව පවතින නැම්ම.

ශීර්ෂභාගය

නා. හිස පෙදෙස ; ඉස ඉද්දර.

ශීර්ෂභාරය

නා. හිසින් ගෙන යා හැකි පමණ බර ; හිසින් ඉසිලීමට සෑහෙන බර.

ශීර්ෂය

1. නා. හිස ; ඔළුව ; සිරස.
2. මුදුන ; ශිඛරය.
3. මාතෘකාව ; සිරස්තලය.

ශීර්ෂවලය

නා. (සත්ව.) වෘත්තාකාර මූර්ධය.

ශීර්ෂශිරෝව

නා. උරහිස් පෙදෙසේ සිට හිස දක්වා දිවෙන විශාල ශිරාව.

ශීර්ෂිකාව

(පාරිභා.) නා. එත් ඇටයක් තවත් ඇටයක ප්‍රසරිකාව තුළ හිරවීම පිණිස ඇටයක අග තිබෙන කොටස.

ශීර්ෂෞරස

(පාරිභා.) නා. ඇතැම් සන්ධිපාදිකයන්ගේ හිසත් උරයත් ඒකාබද්ධ ව සෑදුණ කොටස.

ශීල විශුද්ධිය

නා. බෞද්ධ දර්ශනයෙහි සඳහන් සප්ත විශුද්ධි අතරින් පළමු වැන්න ; තෘෂ්ණා, දෘෂ්ටි, මාන ආදි සංක්ලේශයන් නැසීමෙන් පිරිසිදු වන ශීලය.

ශීල සමාදානය

නා. සිල් සමාදන්වීම ; ශීල හා සම්බන්ධ පොරොන්දු වාක්‍ය පැවසීම හා ඒ අර්ථ උල්ලංඝනය නොකොට කල් ගෙවීම.

ශීලකථා

නා.ප්‍ර. බුදුන්වහන්සේගේ ධර්ම දේශනාවන්හි දී අනුගමනය කරන අනුපිළිවෙළ කථා පසින් දෙවැන්න ; ශීලයෙහි අනුසස් ප්‍රකාශ කිරීම.

ශීලනය

නා. කාය කර්ම ආදිය මනා කොට පිහිටුවීම.

ශීලනිශ්‍රිත

වි. ශීලය ඇසුරු කළ ; ශීලය හා සම්බන්ධ වූ.

ශීලබ්බත පරාමාස

නා.ප්‍ර. සීලබ්බත පරාමාස බ.

ශීලය

නා. සිත, කය, වචනය යන තුන් දොර මනාකොට සංවර කරගැනීම හා සමාදන් වන ශික්ෂා පද නිසි පරිදි පිළිපැදීම.

ශීලව්‍රතය

නා. ශීලය හා ව්‍රතය.

ශීලාචාර

වි. සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරය හික්මවා ගත් ; උතුම් ගති පැවතුම් ඇති ; යහපත් හැසිරීම ඇති ; සදාචාර සම්පන්න ; ශිෂ්ට පැවැත්මෙන් යුත් ; ධර්මිෂ්ඨ.

ශීලානුස්මෘතිය

නා. දස අනුස්මෘති අතරින් එකක්; ශීලය ගැන නැවත නැවත සිහි කිරීම.