සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1645

සංකර්ෂණ

වි. අදිනු ලබන ; ඇදගන්නා වූ.
නා.ප්‍ර. ඇදීම ; (තමා වෙත) ඇද ගැනීම.

සංකර්ෂණ භාරය

(පාරිභා.) නා. (යම් පෘෂ්ඨයක් මත) අදිනු ලබන බර.

සංකලන

වි. එක්කරන ; එකිනෙක සම්බන්ධ කෙරෙන ; සම්මිශ්‍රණය වූ.

සංකලන ගණිතය

(පාරිභා.) නා. පූර්ණ සංඛ්‍යාමය ශ්‍රිතය සෙවීම.

සංකලනය

1. නා. එකතුව ; මුසු වීම ; මිශ්‍ර වීම ; සම්මිශ්‍රණය.
2. (දර්ශන.) ප්‍රතිවිරුද්ධ වූ දාර්ශනික පැවතුම් ඒකාබද්ධ කිරීම.

සංකල්ප ප්‍රේරිත

(පාරිභා.) වි. අදහස්වලින් හෝ හැඟීම්වලින් ඉස්මතු කරනු ලැබූ.

සංකල්ප විද්‍යාව

(පාරිභා.) නා. සංකල්ප විද්‍යාව ; (දාර්ශනික) මත සම්බන්ධ විද්‍යාත්මක ශික්ෂණය.

සංකල්ප සිද්ධි

නා.ප්‍ර. චිත්ත ප්‍රාර්ථනා සිද්ධ වීම ; අරමුණු ඉටු වීම.

සංකල්පනය

1. නා. කල්පනාවෙහි යෙදීම; කල්පනා කිරීම ; සිතීම.
2. අදහස ; කල්පනාව ; සිතිවිල්ල.
3. සංකල්ප රූපය ; චිත්ත රූපය.
4. පිළිගැනීම ; සම්මතය.

සංකල්පනා

නා.ප්‍ර. යහපත් අදහස ; සිතිවිල්ල ; කල්පනාව.

සංකල්පය

1. නා. සිතෙහි හෝ හදෙහි පහළ වන හැඟීම ; අදහස ; සිතිවිල්ල ; කල්පනාව.
2. යම් වස්තුවක් පිළිබඳ සිත්හි මවාගත් රූපය ; චිත්ත රූපය.

සංකල්පවේදී

වි. සංකල්ප ඇසුරු කරගත්.

සංකල්පික

වි. සිතින් මවාගත් ; කාල්පනික හැඟීම් හෝ සිතිවිලි පිළිබඳ වූ.

සංකල්පිත

1. වි. කල්පනා කරනු ලැබූ ; අදහස් කරනු ලැබූ.
2. සිතින් මවාගනු ලැබූ ; සැබෑ නොවූ.

සංකල්පිත මූලය

(පාරිභා.) නා. සිතින් මවාගත් (සංඛ්‍යා) මූලය.

සංක්ලිෂ්ට

වි. කිලිටි ; අපිරිසුදු.

සංක්ලේශ

නා.ප්‍ර. සිත කිලිටි කරන රාගාදි කෙලෙස් ; කෙලෙසීමට හේතු වන කාරණය.

සංක්ලේෂක

වි. ද්‍රව්‍ය සංකලනයෙන් තැනූ ; කෘත්‍රිම.

සංක්ෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. ගෙවී යෑම ; ක්ෂය වීම ; සමාහරණය.
2. ක්ෂය වීමේ රෝගය ; ක්ෂය රෝගය.

සංක්ෂිප්ත

වි. සවිස්තර නො වූ ; කෙටි ; ලුහුඬු ; සම්පිණ්ඩිත.

සංක්ෂිප්ත අංකනය

(පාරිභා.) නා. 1. අංක රාශි ආදිය සංකේත මගින් නිරූපණය කිරීම.
2. එසේ නිරූපිත සංකේත පද්ධතිය.

සංක්ෂිප්තය

1. නා. විස්තර අඩු ලේඛනය ; ලුහුඬු සටහන ; සාරාංශය.
2. කෙටි අකුරුවලින් දක්වනු ලබන දෙය.

සංක්ෂේප

වි. කෙටි ; ලුහුඬු ; සම්පිණ්ඩිත.

සංක්ෂෝභය

1. නා. කලබලය ; නොසන්සුන් බව ; ඇවිස්සීම.
2. සෙලවීම; වෙව්ලීම ; කම්පනය ; කැළඹීම.

සංක්‍රම

1. වි. එක් තැනකින් අනෙකකට යන හෝ වෙනස් වන ; රටකින් රටකට යෑම පිළිබඳ ; මාරු වන.
2. කෙනකුගෙන් තවත් කෙනකුට පැතිරෙන ; බෝවෙන ; සංක්‍රාමික.
1. නා.ප්‍ර. තැනින් තැනට මාරු වීම ; රටකින් රටකට යෑම ; ආගමන - විගමනය.
2. (ග්‍රහ ආදීන්) රාශියෙන් රාශියට මාරු වීම; සංක්‍රාන්තිය.
3. රෝගයක් බෝවීම ; කෙනකුගෙන් වෙන කෙනකුට රෝගය පැතිරීම.