සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1654

සංගමශීලි

වි. සාමූහිකව වාසය කිරීමේ පැවැත්ම ඇති.

සංගම්

1. නා.ප්‍ර. සංගමය.
2. වර්ෂ දෙදහසකට පමණ පෙර ඇති වුණු දෙමළ සාහිත්‍ය යුගයක නාමය.

සංගමාන්නය

1. නා. නම්බුකාරකම.
2. ලජ්ජාව ; විලිබිය ගතිය.

සංගමික

වි. සමිති සංගම් හා සම්බන්ධ ; මිත්‍ර ; සමාජශීලි.

සංගමු

නා.ප්‍ර. සඟුන්ට අයත් ගම ; විහාරගම.

සංගය

1. නා. සමූහය ; රැස.
2. සන්සුන් බව ; සංයමය.

සංගර

1. නා.ප්‍ර. යුද්ධය ; සංග්‍රාමය.
2. පහුරු විශේෂයක්.
3. පොරොන්දුව.

සංග්ලිෂ්ට

1. වි. එකට බැඳුණු සම්බන්ධ.
2. සංයෝග ඇසුරින් නිර්මිත ; කෘත්‍රිම.

සංග්‍රහ

නා.ප්‍ර. උපකාර ; සත්කාර ; සැලකීම්.

සංග්‍රහ නළය

(පාරිභා.) නා. විද්‍යාගාරවල යම් යම් දේ එක්කාසු කිරීමට භාවිත කරනු ලබන නළයක්.

සංග්‍රහ වස්තු

නා.බහු. අනුන්ගේ සිත් ඇද ගැනීමට හේතු වන කරුණු සතර ; සිව් සඟරා වත්; දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර.

සංග්‍රහකරණය

නා. එක්රැස්කොට සංස්කරණය ; එකලස් කොට පිළියෙල කිරීම.

සංග්‍රහණය

(පාරිභා.) නා. එකතු කිරීම ; එක්රැස් කිරීම.

සංග්‍රහය

1. නා. එක්රැස් කිරීම ; එකතුව.
2. කෑම බීම ආදියෙන් කරනු ලබන සත්කාරය.
3. ලිපි බහු සංඛ්‍යාවක් එක්රැස් කොට සංස්කරණයෙන් යුක්ත ව පළ කරනු ලබන ග්‍රන්ථය.

සංග්‍රාම

වි. යුද්ධ පිළිබඳ ; යුද්ධ හා සම්බන්ධ වූ.

සංග්‍රාම භූමිය

නා. යුද්ධ භූමිය ; රණ බිම ; සටන් බිම.

සංග්‍රාම විද්‍යාව

නා. යුද්ධ උපක්‍රම පිළිබඳ හැදෑරීම ; යුද්ධ ශිල්පය පිළිබඳ ශාස්ත්‍රය.

සංග්‍රාමය

නා. යුද්ධය ; සටන.

සංග්‍රාහක

වි. එකතු කරන ; එක්රැස් කරන ; එකමුතු කරන.
නා.ප්‍ර. රැස්කරන ද්‍රව්‍යය ; රාශීභූත කරන දෙය.

සංග්‍රාහක නාලිකාව

(පාරිභා.) නා. මීයාගේ මුත්‍ර පද්ධතියේ කොටසක් වන වෘක්කාණුවේ නාලිකා අංගයක්.

සංග්‍රාහක පද්ධතිය

(පාරිභා.) නා. රුධිරවාහිනී පද්ධතියේ උප පද්ධතියක්.

සංග්‍රාහකයා

1. නා. එකතු කරන්නා ; අයකැමියා.
2. සංග්‍රහ කරන්නා ; ආගන්තුකයා.
3. රියැදුරා.
4. විද්‍යුත් උපකරණයක් ; කන්ඩෙන්සරය.

සංග්‍රාහණ

(පාරිභා.) වි. ද්‍රාවණයක සාන්ද්‍රණය මත මිස ඒවායේ ස්වභාවය මත නොපවතින.