සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1655
සංගාමි
(පාරිභා.) වි. ඇසුරු කළ ; එක් වූ ; සංයෝග වූ.
සංගාමි කෝෂ්ඨය
(පාරිභා.) නා. එක් වී සිටින ජන්මානු යුගල තමන් වටේ තනා ගන්නා කෝෂ්ඨය ; ජන්මාණු කෝෂ්ඨය.
සංගාමි නියුරෝනය
(පාරිභා.) නා. මධ්‍ය ස්නායු පද්ධතියේ සංවේදක හා චාලක නියුරෝන අතර පිහිටන හා ඒ දෙක එකට සම්බන්ධ කරන නියුරෝනයක්.
සංගාමි මධ්‍යස්ථානය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ මොළයට ඇතුළු වන ආවේග සමායෝජනය හා විසුරුවා හැරීම සිදු කරන ස්නායු මධ්‍යස්ථාන විශේෂයක්.
සංගායනාව
නා. එකට රැස්ව කීම ; භික්ෂු සංඝයා එක්රැස් ව ධර්ම පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම ; ධර්ම සජ්ඣායනය ; සංගීතිය.
සංගිලි
වි. දම්වැලින් තැනූ ; දම්වැලින් එල් වූ.
සංගිලි පාලම
නා. දම්වැල්වල හෝ කම්බිවල එල්ලා තැනූ පාලම ; දම්වැලින් තැනූ පාලම.
සංගීත
වි. මනා සේ කියන ලද ; ගායන වාදන ආදියෙන් මිහිරි වූ.
සංගීත අෂ්ටකය
නා. සංගීත කලාවේ ස්වර අෂ්ටකය.
සංගීත නාටකය
නා. ගායන වාදන සහිත ව කෙටි කථා වස්තුවක් නාට්‍යාකාරයෙන් දැක්වීමේ ක්‍රමය.
සංගීත ප්‍රස්තාරය
(පාරිභා.) නා. ගීත තාලවත් කොට ලියා දැක්වීම ; ප්‍රස්තාර විධිය.
සංගීත භාණ්ඩය
නා. සංගීතය උත්පාදනය සඳහා උපයෝගී වන උපකරණය ; තූර්ය භාණ්ඩය ; වාද්‍ය භාණ්ඩය.
සංගීත විද්‍යාව
නා. ගාන්ධර්ව විද්‍යාව ; සංගීත ශාස්ත්‍රය.
සංගීත ශාස්ත්‍රවේදියා
නා. සංගීත ශාස්ත්‍රය හදාළ තැනැත්තා ; සංගීත විශාරදයා.
සංගීත ස්වර
නා.ප්‍ර. සංගීත ස්වර නිරූපණය කරන අකුරු හත ; සංගීත සටහන්.
සංගීතඥයා
නා. සංගීතය හදාළ තැනැත්තා ; සංගීතය වෘත්තිය කොට ගත් පුද්ගලයා.
සංගීතය
1. නා. කට හඬින් හෝ වාද්‍ය භාණ්ඩ මගින්, නොහොත් ඒ දෙ මාධ්‍යයෙන් ම ඇති කරන මිහිරි ධ්වනිය.
2. ගීත, වාද්‍ය, නෘත්‍ය යන තුනෙහි සංගතිය ; හෘදයාන්විත මිහිරි ධ්වනිය.
සංගීතාචාර්ය
[සංගීත + ආචාර්ය]
නා.ප්‍ර. සංගීතය උගන්වන ගුරුවරයා ; සංගීත උපදේශක.
සංගීතිය
1. නා. බුද්ධ ධර්මයට ඇතුළත් වී ඇති මිථ්‍යා මත අර්ථ නිරූපණ පද දෝෂ ආදිය දුරලීම සඳහා භික්ෂූන් එක් රැස් ව පවත්වන සජ්ඣායනාව ; ධර්ම සංගායනාව.
2. ගායන වාදන ආදී ධ්වනිය ; සංගීතය.
සංගුච්ඡණය
(පාරිභා.) නා. ජෙලයක සංකෝචනය හේතුවෙන් ඉබේ ද්‍රවයක් ඉවත් වීම හෝ ගිළිහීම.
සංගුණකය
(පාරිභා.) නා. වීජ පදයක ඇති රාශියක සාධකය සඳහා වූ සංඛ්‍යාත්මක ප්රකාශනය ; භෞතික ගුණයක් ගණනය කිරීම සඳහා භාවිත නියත සංඛ්‍යාවක්.
සංගුප්ත
වි. සැඟවුණු ; රහසිගත.
සංගුව
නා. වේලාව ඇඟවීමට පිඹින නළාව ; සංඥාව.
සංගෘහීත
1. වි. එක් රැස් කළ ; එකතු කරන ලද ; ඇතුළත් කරන ලද ; අන්තර්ගත ; සංග්‍රහ කරන ලද.
2. ලියන ලද ; සංස්කරණය ; කරන ලද.
3. උපකාර කරන ලද ; සත්කාර කරන ලද.