සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1659

සංචාරකය

1. නා. යමක් වසන කොටස ; පියන ; පිධානය.
2. (පාරිභා.) කැමරා ආදියෙහි විවරයක් පාලනය කිරීම පිණිස තිබෙන කොටස.

සංචාරකයා

1. නා. විනෝදය විවේකය හා වන්දනාව සඳහා නැරඹිය යුතු ස්ථානවල චාරිකාවේ නියලෙන තැනැත්තා.
2. රටක සිරි නැරඹීමට විවේක ගැනීම සඳහා රටකින් වෙන රටකට යන තැනැත්තා.

සංචාරී

(පාරිභා.) වි. තැනින් තැනට යන ; සංචාරය කරන ; ජංගම.

සංචිකෘත

වි. රැස්කර ගත් ; ඒකරාශි කළ ; රාශිභූත කළ.

සංචිත

1. වි. රැස් කළ ; රැස්කර ගත් ; රාශිභූත වූ ; එකතු කළ.
2. (පාරිභා.) විශේෂ අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට රැස්කර ඇති ; හදිසියක් සඳහා තැන්පත් කළ හෝ ඉතුරු කළ.

සංචිත අරමුදල

(පාරිභා.) නා. විශේෂ හදිසි අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගැනීම පිණිස ඇති අරමුදල.

සංචිත ආහාර

(පාරිභා.) නා.ප්‍ර. 1. ශාක වර්ගවල අල ආදියෙහි රැස් ව ඇති ශාක ආහාරය.
2. හදිසි හෝ විශේෂ අවස්ථා සඳහා රැස්කර ඇති කෑම ද්‍රව්‍ය.

සංචිත කන්ද

(පාරිභා.) නා. භූ ද්‍රව්‍ය තැන්පත්වීමෙන් නිර්මාණය වූ කන්ද.

සංචිතය

1. නා. රැස්කළ දෙය ; එක්රැස් කරන ලද්ද.
2. (පාරිභා.) විශේෂ අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීමට රැස්කර ඇති දෙය ; (මිනිරන්, යපස් වැනි දෑ) එක් රැස් වී හෝ රාශිභූත වී ඇති ප්‍රමාණය.
3. යම් විශේෂ කටයුත්තක් සඳහා තෝරාගෙන ඇති පිරිස.

සංචෝදිත

වි. මෙහෙයවන ලද ; දිරි ගන්වනු ලැබූ ; පොළඹවනු ලැබූ.

සංඡන්න

1. වි. යුක්ත ; ගැවසී ගත්.
2. වැසුණු ; වැසීගිය ; වසන ලද.

සංජාතය

නා. හටගැනීම ; ඇතිවීම ; ඉපදීම.

සංජානනය

1. නා. හැඳිනීම ; දැනගැනීම.
2. (පාරිභා.) ඉන්ද්‍රිය මාර්ගයෙන් බාහිර ලෝකය හඳුනාගැනීම.
3. කරුණු දැනුම් දීම.

සංජීවනය

(පාරිභා.) නා. 1. ජීවත් කරවීම ; ජීවය දීම ; ජීවනය ඇති කිරීම.
2. එකට ජීවත් වීම ; සහජීවනය.

සංඥක

වි. කියැවෙන ; ප්‍රකාශ වන ; හැඟෙන ; ඉඟිය දෙන.

සංඥතාව

(පාරිභා.) නා. සිහිය ඇතිබව.

සංඥා

නා.ප්‍ර. සංඥාව.

සංඥා උපක්‍රමය

(පාරිභා.) නා. සංඥා මගින් කිසියම් අනතුරු ඇඟවීමක් කිරීමේ තාක්ෂණික විධිය.

සංඥා නාමය

නා. යමක් හෝ යමකු අවශේෂ වස්තුවලින් හෝ පුද්ගලයන්ගෙන් වෙන්කර හඳුන්වන නාමය ; සංඥා ශබ්දය.

සංඥා ව්‍යවහාරය

නා. නම් භාවිතය.

සංඥා විධි

(ව්‍යාක.) නා.ප්‍ර. ව්‍යාකරණ ප්‍රයෝගවලට නම් දැමීමේ විධිය ; සන් විධිය.

සංඥා විපර්යාසය

නා. අනිත්‍යාදි සංඥා නිත්‍යාදි වශයෙන් සැලකීම ; සංඥා පෙරළිය.

සංඥා විමෝක්ෂ

වි. සංඥාවක් හෙවත් හැඟීමක් නැති ; සංඥාවෙන් මිදුණු.

සංඥා වේදයිත

වි. සංඥා විඳීම් පිළිබඳ වූ.