සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1688

සතර සංග්‍රහ වස්තුව

නා. රජකුගෙන් ප්‍රජාවට කෙරෙන සිවු ආකාර සංග්‍රහය ; දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව.

සතර සංවර ශීලය

නා. සිවු පිරිසිදු සිල් ; ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධි, ප්‍රත්‍යය සන්නිශ්‍රිත යන චතුපාරිශුද්ධ ශීලය.

සතර සතිපට්ඨානය

නා. කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා යන චතුර්විධ සතිපට්ඨාන ; සිහිය පිහිටුවීම පිළිබඳ සිවු ආකාරය.

සතර සිංහ

නා.ප්‍ර. තෘණ, කාල, පාණ්ඩු, කේසර යන සිංහ වර්ග සතර.

සතරංසි

නා.ප්‍ර. රැස් සියයක් ඇත්තා වන සූර්යයා.

සතරකන් මන්ත්‍රණය

නා. දෙදෙනකු අතර පමණක් කෙරෙන රහස් සාකච්ඡාව.

සතරකර

නා. අත් හතරක් ඇත්තා ; විෂ්ණු දෙවි.

සතරකරා

නා.ප්‍ර. සිවු දෙස වෙරළ හතර ; මුහුදු තීර හතර.

සතරගේ

නා. මැද මිදුල සිටින සේ හතර පසින් සෑදූ ගෙවල් හතර.

සතරාව

නා.ප්‍ර. සිය වරක් රැව් දීම හෙවත් හඬ නැංවීම.

සතරැස්

වි. පැති හතරක් ඇති ; චතුරස්‍රාකාර.

සතරැස් කොටුව

නා. ලංකාවේ පැරණි ස්තූපවල අංගයක් ; චෛත්‍යයක ගර්භයට උඩින් ඇති පැති හතරක් සහිත කොටස.

සතරුපා

නා.ප්‍ර. සතර උපාය ; රාජ්‍ය පාලනයට ඉවහල් වෙතියි සැලකෙන සාම, දාන, භේද, දණ්ඩ යන චතුර් උපාය.

සතල

වි. සමාන තලයක් සහිත ; සමතලා බිම් සහිත.

සතවක

නා.ප්‍ර. සඳුගේ පුර හෝ අව පස සත් වැනි තිථිය හෙවත් දිනය.

සතසතුමහදන්

නා.ප්‍ර. සප්ත සතික දානය ; එක් එක් වර්ගයෙන් හත්සීය බැගින් ඇති මහා දානය.

සතසහස්‍ර

නා.ප්‍ර. සියක් දහස ; ලක්ෂය.

සතළොස

නා. සංඛ්‍යාවක් ; දහ හත.

සත්

1. නා.ප්‍ර. ආයුධය ; අවිය.
2. ඇත්ත ; සත්‍යය.
3. සත්‍ය පාරමිතාව.
4. සත්ව ගුණය.
1. වි. ශාන්ත.
2. යහපත් ; ගුණවත්.
3. විද්‍යමාන.

සත් කර්මය

නා. බවුතීස්මය, විවාහය ආදිය පිළිබඳ ව පවත්නා ක්‍රිස්තියානි ආගමික පූජනීය තේවාවක් ; දෙවියන් ඉදිරියේ කෙරෙන ගරු ගාම්භීර පොරොන්දුව.

සත්ක්‍රියා

නා.ප්‍ර. යහපත් කටයුතු.

සත්කාරය

1. නා. සැලකීම ; උපස්ථානය ; සංග්‍රහය.
2. ගෞරවයෙන් දෙනු ලබන ප්‍රත්‍යය.
3. ගරු සැලකිල්ල ; සම්මානය.
4. පූජාව.

සත්කෘත්‍යකාරී

වි. ආදරයෙන් හෝ සැලකිල්ලෙන් කරන.

සත්කෘත්‍යය

නා. යහපත් ක්‍රියාව.