සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 17

අගම්යෝගය

(පාරිභා.) නා. එක ම වර්ගයේ විවිධ ශාකවල මල්වලින් අන්‍යෝන්‍ය ව ඇති වන පරාගණය; පරසංසේචනය (= xenogamy).

අගම්විදිය

නා. (ව්‍යාක.) ආගම විධිය; පද සන්ධි කිරීමේ දී අමුතුවෙන් අකුරක් පැමිණවීම.

අගම්‍ය

වි. නොඑළඹිය යුතු; සේවනය නොකළ යුතු.

අගමැති

නා.ප්‍ර. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා; අග්‍රාමාත්‍යවරයා.

අගය

1. නා. වටිනාකම; මිල; තක්සේරුව.
2. නා. වැදගත්කම; සැලකිය යුතු බව.
3. නා. ආඩම්බරය; උජාරුව; අහංකාරය.

අගය කරනවා

1. ක්‍රි. මිල කරනවා; තක්සේරු කරනවා.
2. ක්‍රි. උසස් කර කියනවා; වර්ණනා කරනවා.
3. ක්‍රි. උසස් ලෙස සලකනවා; ගරු කරනවා.

අගය තබනවා

ක්‍රි. මිල නියම කරනවා; වටිනාකම දක්වනවා.

අගය පෙන්වනවා

1. ක්‍රි. මිල කරනවා; තක්සේරු කරනවා.
2. ක්‍රි. උසස්කම කියා පානවා; පුරසාරම් කියනවා.

අගය වඩනවා

1. ක්‍රි. මිල වැඩි කරනවා; වටිනාකම වැඩි කොට කියනවා.
2. ක්‍රි. අහංකාරකම් පෙන්වනවා.

අගය හෙළනවා

ක්‍රි. මිල අඩු කරනවා; වටිනාකම පහත දමනවා.

අගයනවා

ක්‍රි. වටිනාකම පෙන්වනවා; අගය මනිනවා; ගුණාත්මක තත්ත්වය විමසනවා.

අගරපට

නා. ඇඳි රෙද්දෙහි හිණ පහළට එල්ලී වැටෙන රෙදි කොන; නරුපොට; නෙරිය.

අගර්භ සෙය්‍යකයා

නා. මවු ගැබක නූපදින්නා; මවු කුස පිළිසිඳ නොගන්නා තැනැත්තා.

අගර්වය

නා. උඩඟු නොවන බව; නිරහංකාර බව; නිහතමානි බව.

අගරු

වි. ගරු නොවූ; ගරු බුහුමන් රහිත.

අගරු කරනවා

1. ක්‍රි. ගරු සැලකිලි නොදක්වනවා.
2. ක්‍රි. පිළිගත නොහැකි චෙක්පතක් ප්‍රතික්ෂේප කරනවා.

අගරු පස්ත

වි. ප්‍රධාන උපස්ථායක වූ; අග්‍ර උපස්ථායක වූ.

අගරුක

වි. බර නොවූ; බැරෑරුම් නොවන.
නා.ප්‍ර. බර නොවූව; බලවත් නොවන කුශලාකුශල කර්ම.

අගරුකය

නා. බර නොවූව; බලවත් නොවන කුශලාකුශල කර්ම

අගරුව

නා. ගරු බුහුමන් නැතිකම; අගෞරවය; අවමානය.

අගරොන්

නා.ප්‍ර. විසිරී යන කුඩා ගිනි පුපුරු; ගිනි පුලිඟු.

අගල

1. නා. කඳු බෑවුම් ප්‍රදේශවල වැහි වතුර බැස යාමෙන් හෑරුණු ඇළ; ඉඩමක මායිම දැක්වීම හෝ සෝදාපාළුව වැළැක්වීම සඳහා හාරනු ලබන කානු.
2. නා. පුරාණ නගර වටා ආරක්ෂාව සඳහා ඉතා ගැඹුරට හා පළලට කණින ලද පරිඛාව.

අගවිට

නා. ආලින්දය; අක්දෙරිය.

අගසවු

නා.ප්‍ර. අග්‍රශ්‍රාවක.