සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1712

සමපාකය

නා. තෙල් බෙහෙත් සහ ආහාර ආදිය සෑදීමේ දී තෙල් නිසි මධ්‍යම ප්‍රමාණයට පැසීම.

සමපාතය

නා. එකපිට එක වැටීම ; එකක් බවට පැමිණීම.

සමපාද

1. නා.ප්‍ර. සම පතුල් ඇතිබව (බුදු සිරුරේ විශේෂ ලක්ෂණයකි).
2. සතර පද පද්‍යයක දෙවැනි සහ හතර වැනි පාද.
වි. සමාන පැති ඇති ; පැති සියල්ල දිගින් සම වූ.

සමපාද ගෝලීය බහුඅස්‍රය

(පාරිභා.) නා. එක සමාන පැති ඇති ගෝලාකාර බහුකෝණය ; බහුභුජය.

සමපාද ත්‍රිකෝණය

නා. පාද තුනම එක සමාන දිගින් යුත් ත්‍රිකෝණය.

සමපීඩන සටහන

(පාරිභා.) නා. සමාන වායු පීඩනයෙන් යුත් ස්ථානය සඳහන් සටහන.

සමපීඩන සිතියම

නා. සමාන වායු පීඩනයෙන් යුත් ස්ථාන පෙන්නුම්කර අඳින ලද සිතියම.

සමපීඩනය

1. නා. සමාන වායුපීඩනය.
2. එක සමාන බර හෙවත් පීඩනය යෙදීම.

සමපීඩිත

(පාරිභා.) වි. සමපීඩනය වුණු ; සිහින් වුණු.

සමපුච්ඡවරල

(පාරිභා.) නා. ඉහළටත් පහළටත් සමාන ව දෙකට බෙදුණු වලිග වරල.

සමපේක්ෂක

වි. මහත් ලාභ ලැබීමේ බලාපොරොත්තුවෙන් අවදානම් වෙළඳ ව්‍යාපාරවල යෙදෙන.

සමපේක්ෂක ආයෝජනය

නා. වැඩි ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් අවදානම් සහිත ආයෝජනයක යෙදීම.

සමපේශියා

නා. සමාන පේශිවලින් යුක්ත ජීවියා.

සමඵලය

(පාරිභා.) නා. සමාන වූ බලය නොහොත් ශක්තිය.

සමබර

1. වි. සමාන බර ඇති ; මධ්‍යස්ථ බර ඇති.
2. හැම පක්ෂයකට ම සාධාරණ.
3. මනා ගැළපීමෙන් යුත්.

සමබල

වි. සමාන බලය නොහොත් ශක්තිය ඇති ; අවශ්‍ය ශක්තිය හා පෝෂ්‍යය නිසි පරිදි ලබාදෙන.

සමබල නියෝජනය

නා. රාජ්‍ය පාලනයේ දී පුද්ගල, ප්‍රදේශ ආදී භේද නොසලකා පොදු නීතියකට නොහොත් ප්‍රතිපත්තියකට අනුව රටවැසියා නියෝජනය කිරීම.

සමබලතාව

නා. සජාතීයත්වය ; මධ්‍යස්ථ බව.

සමබව

1. නා.ප්‍ර. ප්‍රබන්ධයක පොදු රචනා විලාසයක් නොකඩවා පැවතීමේ ගුණය.
2. සමාන බව ; සාම්‍යය.

සමබාග

නා.ප්‍ර. සමාන භාගය ; සමාන කොටස.

සමබෑවුම

නා. අතරතුර නැගීම් බැසීම් නැති ක්‍රමානුකූල බෑවුම.

සමබිම

නා. සමතලා බිම ; පර්වත, හෙල්, නිම්න ආදිය රහිත තැනිතලාව ; සමභූමිය.

සමබීජාණුක

වි. එක වර්ගයක පමණක් බීජාණු ඇති.

සමභරිත

වි. ඉවුර හෝ මුවවිට දක්වා පිරි ඉතිරී ගිය.