සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1713

සමභාර රේඛාව

(පාරිභා.) නා. සමාන වායු පීඩනය ඇති ස්ථාන හරහා ඇඳි රේඛාව.

සමභාරතාව

නා. සමබර බව ; සමතෝලනත්වය.

සමභුජ

වි. එක සමාන පැති ඇති.

සමමිතික

වි. දෙපැත්තෙහි සමාන ලෙස කොටස් පිහිටි.

සමමිතිය

(පාරිභා.) නා. ඍජු රේඛාවක, තලයක, කේන්ද්‍රයක, අක්ෂයක දෙපැත්තෙහි සමාන ලෙස කොටස් පිහිටීම.

සමමූලය

(පාරිභා.) නා. සමාන මූලය, සම ආරම්භය.

සමය

1. නා.ප්‍ර. ලබ්ධිය ; ධර්මය ; දෘෂ්ටිය.
2. මතය ; ඉගැන්වීම.
3. කාලය ; යුගය ; වේලාව.
4. සමූහය.

සමයං වෙලාව

නා. ඉර බසින වෙලාව ; ගොම්මං වෙලාව.

සමයඥ

වි. ධර්මය දැනගත්.

සමයන්

1. නා.ප්‍ර. පාන්දර, මධ්‍යාහ්නය, සැන්දෑව මැදියම් රැය යන අවස්ථා.
2. හොල්මන.
3. තොවිලය ; තොවිලයේ දී නිරූපිත අමනුෂ්‍ය රූපය.
4. නාඩගම ; විහිළුව ; විගඩම ; විකාරය.

සමයාගත

වි. ආගම ධර්මයෙහි සඳහන් වූ.

සමයාන්තර

නා.ප්‍ර. අන්‍ය ආගම් ; අන්‍ය ආගමික මත.

සමයුග්මක

වි. එකම ප්‍රවේණි සාධකය ජනකයන් දෙදෙනාගෙන් ම උරුම වන.

සමයෝගය

නා. එකට එක්වීම ; සමවායය.

සමර

1. නා.ප්‍ර. සටන ; යුද්ධය.
2. අනුරාගය ; ප්‍රේමය.
3. අනංගයා ; කාමදේවයා.
4. ගස් වර්ගයක්.
5. බිත්තිවල ආලේප කිරීමට ගන්නා කහපාට මැටි වර්ගයක් සහ ඒ සායම.
6. ස්මරණය ; සිහිවීම.

සමර්ථ

1. වි. දක්ෂ ; හපන් ; ශක්තිය ඇති.
2. සාමර්ථ්‍යය ලැබූ ; උසස් වූ.

සමර්ථනය

1. නා. ස්ථිර කිරීම ; නිශ්චය කිරීම ; තීරණය කිරීම.
2. ඔප්පු කිරීම.

සමර්ථයා

නා. දක්ෂයා ; හපනා ; විභාගාදියෙන් ජය ලැබූ තැනැත්තා.

සමර්පණය

නා. පැවරීම ; ප්‍රදානය ; පිළිගැන්වීම ; පැමිණවීම.

සමරුව

1. නා. ස්පර්ශ කිරීම.
2. අනුස්මරණය.
3. අනුස්මරණ උත්සවය.
4. ස්මාරකය.

සමරූප

වි. සමාන රූප ඇති ; සමාකාර.

සමරූප කේන්ද්‍රය

(පාරිභා.) නා. සමාකාර මාධ්‍යය ; සාම්‍යය පිළිබඳ මාධ්‍යය.

සමරූපතා මූල ද්‍රව්‍යය

(පාරිභා.) නා. සමාන ද්‍රව්‍ය එක ම ආකාරයට ඒකීකරණය වීමට හැකියාව ඇති මූල ද්‍රව්‍යය.

සමරූපිතාව

1. නා. සමානබව ; සම අංශවලින් යුක්ත බව.
2. සමානතාව ; සාම්‍යය.