සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 172

අවකංස

නා.ප්‍ර. අඩුම ප්‍රමාණය.

අවකර පරිණාමකය

(පාරිභා.) නා. අධිවෝල්ටීයතා සැපයීමක් අඩු වෝල්ටීයතා සැපයීමකට හැරවීමට යොදනු ලබන පරිණාමකය; අවරෝහී පරිවර්තකය (=step- down transformer).

අවකරණය

(පාරිභා.) නා. අඩු කිරීම; හීන කිරීම; ඌන කරණය (=reduction).

අවකරය

(පාරිභා.) නා. එන්ජිමක් ක්‍රියා කරවන වාෂ්ප හෝ වායු හෝ ද්‍රව ප්‍රමාණය උවමනා අන්දමට පාලනය කිරීමට යොදනු ලබන වෑල්වය (=throttle valve).

අවකර්ෂණය

නා. ඉවතට ඇදීම; ඉවත් කිරීම.

අවකර්ෂය

1. නා. (තත්ත්වයෙන්) පහත වැටීම; අවමානයට පැමිණීම හෝ පැමිණවීම; පහත් බව.
2. නා. අඩු ප්‍රමාණය; අපකර්ෂය.

අවකලනය

(පාරිභා.) නා. අවිච්ඡින්න ව වෙනස් වන රාශි පිළිබඳ වූ ගණිත ක්‍රමයක්; අවකලනය කිරීම (=differential calculus).

අවකල් ක්‍රියාව

නා. නොමනා හැසිරීම; අනාචාරය; දුරාචාරය.

අවකල්පනය

නා. ඇදහීම; ගුණ සලකා පැහැදීම.

අවකහ

1. (කථා.) නා. ඉඩ; ඉඩකඩ; අවකාශය.
2. අවස්ථාව; ඉඩ ප්‍රස්තාව.

අවකහඩා චක්‍රය

නා. මන්ත්‍ර ගුරුකම්, සෙත් කවි, වස්කවි සෑදීමේදී ඉෂ්ටානිෂ්ට ගණ, යෝනි, අක්ෂර යොදා ගැනීම සඳහා චක්‍රයක් වශයෙන් පිළියෙල කරගත් බන්ධන (කොටු) විශේෂය.

අවක්තව්‍ය

වි. නොකිය යුතු; නොපැවතිය යුතු; නොබිණිය යුතු.

අවක්ෂේපණය

1. නා. හෙළීම; වැටීම.
2. නා. අපහාසය; නින්දා වචනය; තද ඇනුම්පදය.
3. (රසා.) නා. විමෝචනය; නික්ෂේපණය; අවක්ෂේප කිරීම. (=precipitation).

අවක්ෂේපය

1. නා. අපහාසය; නින්දාව.
2. නා. ද්‍රාවණයේ සිදු වන ප්‍රතික්‍රියාවකින් සෑදෙන අද්‍රාව්‍ය ඝන ද්‍රව්‍යය; මණ්ඩි හෝ රොඩු බොඩු.

අවක්‍ර

වි. වක්‍ර නොවූ; ඇද නැති; ඍජු.

අවක්‍රමණය

1. නා. පහතට යෑම; බැසීම.
2. නා. යටපත් කිරීම; පැතිරී යෑම.
3. (භූගෝ.) නා. ගොඩබිම ගෙවී යෑම (=degradation).

අවක්‍රාන්ත

වි. බැසගත්; එළඹුණු; පිවිසුණු.

අවක්‍රාන්තික ප්‍රීතිය

නා. සකල ශරීරය පිනවා පැතිරී ගොස් අවසන් වන ප්‍රීතිය.

අවක්‍රාන්තිය

1. නා. බැසගැනීම; මවු කුසට පිවිසීම හෙවත් පිළිසිඳ ගැනීම; ප්‍රතිසන්ධිය.
2. (භෞති.) නා. විඝටනය; විශ්ලේශණය වීම; විභේදනය (=disintegration).

අවක්‍රියාව

නා. වැරදි ක්‍රියාව; පාපී ක්‍රියාව.

අවකාරය

නා. ලීවල ලොකු සිදුරු විදීමට භාවිත කරන වඩු උපකරණය.

අවකාශය

1. නා. සීමා රහිත දිග පුළුලින් යුක්ත ව මුළු විශ්වය සිසාරා පවතින පුළුල් ඉඩ කඩ.
2. නා. අහස; ගුවන.
3. නා. අවස්ථාව; ඉඩ ප්‍රස්තාව.
4. නා. අවසරය; අනුමැතිය.
5. නා. අතරතුර ඉඩ; විවේකය.
6. නා. ඡිද්‍රය; සිදුර.
7. නා. අනන්තය.

අවකැටය

1. නා. සීසාන විට නඟුලෙන් හෑරී පෙරළෙන පස් පිඩ.
2. නා. නඟුලේ පලු ඇණය.
3. නා. යතු කැටයක තලය සවි කිරීමට ගසනු ලබන ලී අඩය.

අවකැපෙනවචන

නා.ප්‍ර. අශුභ දායක ප්‍රකාශ.