සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 171

අලුකුත්තේරුවා

1. නා. වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා; තැරැව්කාරයා.
2. නා. මුඛරි තැනැත්තා; වාචාලයා.
3. නා. පහත් තැනැත්තා; නින්දිත පුරුෂයා.

අලුත

ක්‍රි.වි. අභිනවයෙන්; නොබෝදා; මෑත දී; ළඟ දී.

අලුත්

වි. නව; අභිනව.

අලුත් ගිවිසුම

නා. බයිබලයේ එක් කොටසක්; අලුත් තෙස්තමේන්තුව.

අලුත්බත් දානය

නා. පළමු අස්වැන්නෙන් දෙන දානය; අගහස් දන.

අලුත්වැඩියාව

නා. ප්‍රතිසංස්කරණය; පිළිසකර කිරීම.

අලුප්ත

1. වි. නොසිඳූ.
2. (ව්‍යාක.) වි. ලොප් නොකළ.

අලුබ්ධ

වි. ලෝභ නැති; අලෝභි; ගිජු නැති.

අලුමූසාව

නා. උදේ කෑම; උදය භෝජනය; පාතරාසය.

අලුයම

නා. අරුණෝදය; ප්‍රභාත කාලය; පාන්දර.

අලුයම් ධුරය

නා. විහාරස්ථානයක හෝ දේවාලයක හෝ අලුයම් තේවය සඳහා පවත්වනු ලබන බෙරවාදනය.

අලුයේ දවස්

ක්‍රි.වි. දෙවෙනි දවසෙහි; පසුදිනයෙහි.

අලුව

1. නා. එළිය; ආලෝකය; ප්‍රභාව.
2. නා. අලුයම.

අලුළිත

වි. අවුල් නොවූ; විසිරී නොගිය.

අලෙලුයා

නි. (ක්‍රිස්ති.) ගීතිකාවල හා ස්ත්‍රෝත්‍රවල දෙවියන් වහන්සේට ස්තුති ප්‍රකාශ කිරීම සඳහා යොදා ඇති වචනයක්.
නා.ප්‍ර. දෙවියන් වහන්සේට කියන ස්තුති ගීතිකාවක් (=alleluia).

අලෙව්ව

1. නා.ප්‍ර. ගෑම; තැවරීම; ගැල්වීම; ආලේප කිරීම.
2. නා.ප්‍ර. චිත්‍රය; සිත්තම.

අලෙවු පට

නා. සිතියම් කරන ලද වස්ත්‍රය; ආලේඛ්‍ය පට්ටය.

අලෙවු රූ

නා.ප්‍ර. සිත්තම් කරන ලද රූපය.

අලෙස

වි. ක්‍රියාශීලී නොවන; උදාසීන.

අලෝහය

(පාරිභා.) නා. ලෝහ නොවන අඞ්ගාර වැනි ද්‍රව්‍ය මූලය (=non-metal).

අලෝහලය

නා. කලබලය; කෝලාහලය.

අලෞකික

වි. ලෞකික නොවන; මේ ලෝකයට අයත් නොවූ; ලෝකෝත්තර.

අව

1. උ. අහක; පිටත; බැහැර.
2. උ. ඌන; හිඟ; අඩු.
3. උ. නරක; නොමනා; අයහපත්.
4. උ. විරුද්ධ; ප්‍රතිවිරුද්ධ.
නා.ප්‍ර. චන්ද්‍රයාගේ ආලෝක ප්‍රදේශය අඩු වන වකවානුව; අවපක්ෂය.

අව කපනවා

ක්‍රි. අවමංගල හෙවත් අශුභ වචන කියනවා; බාධා කරනවා.