සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 177

අවමඞ්ගල්‍යය

නා. අශුභ සිද්ධිය; මරණය; මළගම.

අවමඟ

1. නා. නොමඟ; වැරදි මාර්ගය; දුෂ්ට උපාය.
2. නා. අපායට පමුණුවන මාර්ගය; අපාය මාර්ගය; අවාමඟ.

අවමන්

නා.ප්‍ර. නින්දාව; නිග්‍රහය; අවඥාව; අනාදරය.

අවමරණය

නා. නියම වයසට නොපැමිණ මිය යෑම; අකාල මරණය.

අවමර්ශය

නා. ස්පර්ශය; ගැටීම.

අවමර්ශවාදය

නා. පරුෂ වචනයෙන් කථා කිරීම; ජාති ආදිය ගටා බැණීම.

අවමානය

නා. නින්දාව; නිග්‍රහය; අවඥාව.

අවමාන්‍ය

වි. අවමන් කටයුතු.

අවමාලු

(කථා.) වි. දිරාගිය; පරණ.

අවයවය

නා. අඞ්ගය; හස්ත පාද ආදි ශරීරාංගය; ඉන්ද්‍රියය.

අවයෝගය

නා. (ජ්‍යෝති.) අනිෂ්ට යෝගය; ඇතැම් නැකැත් තිථි හා දින එකට යෙදීමෙන් සෑදෙන අශුභ යෝගය.

අවර

1. වි. පහත්; නුසුදුසු.
2. වි. අන්‍ය; අනෙක්; ඊළඟ.
3. වි. බටහිර; ප්‍රතිචීන.
4. වි. බැස යන; අස්තඞ්ගත වන.
5. වි. නුදුරු; ළඟ.
1. නා.ප්‍ර. බටහිර; අපරදිශාව.
2. නා.ප්‍ර. පිරිහීම; වයෝවෘද්ධ අවස්ථාව.
3. නා.ප්‍ර. සූර්යයා.
4. නා.ප්‍ර. පස්වරු සමය.

අවර දිග

නා. බස්නාහිර පැත්ත; බටහිර දිශාව.

අවර පෙත්ත

(පාරිභා.) නා. අහස් යානාවක් හෝ ජල යාත්‍රාවක් හෝ ඉදිරියට ගමන් කරවීම පිණිස සවිකරන ලද ප්‍රේරකය (=propeller).

අවර භාගය

නා. දවසේ දෙවැනි භාගය; පස්වරුව.

අවරගිර

නා.ප්‍ර. අපරදිග ඇතැයි සැලකෙන එනම් කල්පිත පර්වතය.

අවරණය

නා. වැස්ම; ආවරණය.

අවර්ණ

වි. පාට නැති; නිර්වර්ණ.

අවර්ධිත

වි. වර්ධනය නොකළ; නොවැඩුණ.

අවරුද්ධ

වි. වළක්වන ලද; බාධා කරන ලද.

අවරෝධකය

නා. බාධකය (=buffer).

අවරෝධය

1. නා. බාධාව; වැළැක්වීම; අවහිර කිරීම.
2. නා. ආවරණය; වැස්ම.

අවරෝහණය

නා. බැසීම; අවතීර්ණවීම.

අවරෝහය

නා. ගසක ශාඛාවකින් බසින මුල; අරළුව; ඇටුවම.