සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1804

සිකුරට

ක්‍රි.වි. ඇත්තටම ; හරියටම ; නිසැකවම ; ඒකාන්තයෙන්ම.

සිකුරු

වි. ඒකාන්ත ; නිසැක ; නොවරදින ; නිශ්චිත.
1. නා.ප්‍ර. ශුක්‍ර ග්‍රහයා ; සූර්ය ග්‍රහ මණ්ඩලයෙහි ඉතා කිට්ටු ආකාශ වස්තුව ලෙසින් සැලකෙන ග්‍රහලෝකය.
2. ශුක්‍ර ධාතුව.

සිකුරු තරුව

නා. සිකුරු ග්‍රහයා ; ඉරබටු තරුව ; උදය තරුව.

සිකුලාව

(පාරිභා.) නා. ප්‍රථම ජීවාංගයාගේ කේතුරූපාකාර කයිටිනීය සැකිල්ල.

සිඛී

1. නා.ප්‍ර. ගින්දර ; ගින්න ; අග්නිය.
2. රත් නෙටොල්.

සිගරැට්ටුව

නා. වියළි දුම්කොළවලින් සාදා කඩදාසි පටියකින් ඔතන ලද දුම්වැටි විශේෂය.

සිගලා

නා.ප්‍ර. ශෘංගාලයා ; සිවලා.

සිග්ගිරාව

(කථා.) නා. සිදුර ; හිල.

සිග්මාකාර

(පාරිභා.) වි. සිග්මා නමැති ග්‍රීක අක්ෂරයේ හැඩයෙන් යුක්ත.

සිගු

1. වි. ඉක්මන් ; ශීඝ්‍ර ; යුහු.
2. කෘශ ; කෙට්ටු ; සීන්දෑරි.

සිඞ්ගය

1. නා. අඟ ; සතුන්ගේ අං.
2. රාගය ; ඇල්ම ; ආශාව.

සිඞ්ගිවේර

නා.ප්‍ර. ඉඟුරු.

සිඞ්ගී

නා.ප්‍ර. රත්රන් විශේෂයක්.

සිඟ

වි. අඩු ; දුර්ලභ ; ඌන.
1. නා.ප්‍ර. ඉඟ.
2. පෙරුම්කායම්.

සිඟනවා

1. ක්‍රි. නැති බැරිකම් කියා ඉල්ලා සිටිනවා ; හිඟා කනවා ; යදිනවා.
2. භික්ෂුවක් ගෙන් ගෙට ගොස් පිණ්ඩපාතය ලබා ගන්නවා ; පිඬු සිඟනවා.

සිඟන්නා

නා. සිඟන තැනැත්තා ; හිඟන්නා.

සිඟමන

1. නා. නැති බැරිකම නිසා යමක් ඉල්ලා ගැනීම.
2. ඉල්ලා සිටීමෙන් ලබාගන්නා දෙය.
3. භික්ෂාටනය ; භික්ෂූන් ගෙපිළිවෙළින් ඇවිද ලබාගත් ආහාරය.

සිඟා රැලි

(කථා.) නා.ප්‍ර. කෙස් රොදවල් ; කුඩා කෙස් රැල්.

සිඟාන

නා.ප්‍ර. උදැල්ල.

සිඟානා

නා.ප්‍ර. මඟුල් කඩුව භාර නිලධාරියා ; අසිග්‍රාහකයන්ගේ ප්‍රධානියා.

සිඟාව

1. නා. මුදුන.
2. මොනරාගේ හිස මුදුන ; මොනරාගේ කුඩුම්බිය.
3. කොට බැඳ ඇති කොණ්ඩය.

සිඟාළුවා

නා. අනුන්ගේ ඉඳුල් කන තැනැත්තා ; සිඟන්නා.

සිඟිත්තා

නා. ඉතා කුඩා ළදරුවා ; පැටියා.

සිඟිති

වි. කුඩා ; පුංචි.