සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1806

සිටු

1. නා.ප්‍ර. සිටු තනතුර ලද තැනැත්තා ; සිටුවරයා.
2. පැවැත්ම ; සිටීම.
වි. සිටියා වූ ; සිටි.

සිටුනා

නා.ප්‍ර. සිටුවරයන්ගේ ප්‍රධානයා.
ක්‍රි.වි. සිටිනා ; නැවතී පවත්නා.

සිටුවා පස් ගහනවා

ක්‍රි. පණ පිටින් සිටුවා මැටි ගසා මරණයට පත් කිරීමේ දඬුවම.

සිටුසේසත

1. නා. සිටු තනතුර.
2. සිටුබවෙහි සංකේතය.

සිඩරයිට්

නා.ප්‍ර. ස්වාභාවික අයන් කාබනේට් වර්ගයක්.

සිත ගන්නවා

ක්‍රි. කැමැත්ත ලබා ගන්නවා ; ආදරය දිනා ගන්නවා.

සිත සිතු

1. නා. චිත්තය ; අරමුණු දැනීමේ ඉන්ද්‍රිය ; මන ; මනස.
2. මඳ සිනාව ; සයාකාර වූ සිනාවන්ගෙන් එකක්.
3. චිත්‍රය ; සිතුවම.
4. නැකත් දොළසින් එකක නාමය.
5. කිවි ග්‍රහයා.
6. පැණිරස ද්‍රව්‍යයක් ; සීනි.
7. මුනි ; උතුමා.
8. රිදී.
9. සුදුපාසානම්.
10. කපුරු.
1. වි. ශ්වේත ; සුදුපැහැ.
2. රම්‍ය ; විසිතුරු.

සිතකාමී

වි. යහපත කැමති ; අභිවෘද්ධිය ඇති කිරීමට කැමති.

සිතඟ

වි. චිත්තානුකූල ; චිත්ත අභිලාෂ පරිදි.

සිතට ගන්නවා

(කථා.) ක්‍රි. 1. යම්කිසි පාඩමක් වැනි දෙයක් හොඳින් අසා සිට සිතෙහි තැන්පත් කරගන්නවා.
2. ඕනෑවට වඩා තමුන්ගේ තත්ත්වය ගැන ආඩම්බර වෙනවා.

සිතවු

නා.ප්‍ර. විකාරය ; උමතුව.

සිත් අලවනවා

ක්‍රි. සිත ඇද ගන්නවා ; චිත්තාකර්ෂණය කරනවා.

සිත් අසර

නා. සිත පිළිබඳ පවතින ආකාරය ; චිත්ත ප්‍රවෘත්තිය.

සිත් ගන්නවා

1. ක්‍රි. සිත ආකර්ෂණයට පත් කරනවා ; සිත අලවනවා.
2. සිත දිනා ගන්නවා ; යමක් ලබා ගැනීමට හෝ කර ගැනීමට කෙනෙකුන්ගේ සිත සතුටු කරනවා.

සිත් තුරඟ

නා.ප්‍ර. සුදු අශ්වයා ; ශ්වේත වර්ණ අශ්වයා.

සිත් දිය

නා. ශීත ජලය ; සිසිල් ජලය.

සිත් දෙනවා

ක්‍රි. යමක් කරන්නට හිත නැමෙනවා ; යමක් කෙරෙහි අවධානය යොමු කරනවා.

සිත් පෙවෙත

නා. සිතෙහි පැවැත්ම ; චිත්ත ප්‍රවෘත්තිය.

සිත් විසීගිය

ක්‍රි.වි. සිත් වසඟ කරගත් ; චිත්තය වසග කරගත්තා වූ.

සිත් විසුදිය

නා. සිතෙහි පිරිසිදු බව ; චිත්ත විශුද්ධිය.

සිත් සතන්

නා.ප්‍ර. සිත ; චිත්ත සන්තානය ; අඛණ්ඩ ව ක්‍රියාත්මක වන සිත.

සිත් හසර

නා.ප්‍ර. සිතෙහි හැසිරීම ; චිත්තාචාරය.

සිත්කම්

නා.ප්‍ර. චිත්‍ර කර්මය අඳින ලද රූපය.

සිත්කරුවා

නා. චිත්‍ර ශිල්පියා ; චිත්‍ර කර්මයෙහි යෙදෙන තැනැත්තා.