සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1808

සිතු රුවන

නා. චින්තා මාණික්‍ය රත්නය.

සිතුනතු කරනවා

ක්‍රි. සිත නැඹුරු කරනවා ; තමන් වෙතට යොමු කරනවා ; සිත අවනත කරගන්නවා.

සිතුමිණ

නා.ප්‍ර. සිතු පැතු දේ දෙතැයි සැලකෙන මැණික ; චින්තා මාණික්‍යය.

සිතුරු

වි. විසිතුරු ; අලංකාර.

සිතුරුකම

නා. චිත්‍ර කර්මාන්තය ; චිත්‍ර ශිල්පය.

සිතුවක්

නා.ප්‍ර. අභිප්‍රාය වූ දෙය ; තමා අදහස් කළ දෑ.

සිතුවක්කාර

වි. තමා සිතන දෙයක් කරන ; තමාගේ ම අදහස් ක්‍රියාත්මක කරන ; හිතුවක්කාර.

සිථිල

වි. ලිහිල් ; සරල ; මෘදු.

සිථිලය

නා. ලිහිල් අකුර ; අල්ප ප්‍රාණ අක්ෂරය ; සිථිලාක්ෂරය.

සිථිලිකරණය

නා. ලිහිල් කිරීම ; සරල කිරීම.

සිද

1. නා.ප්‍ර. ඡිද්‍රය ; සිදුර ; හිල.
2. දේවතා කොට්ඨාසයක්.
3. සිද්ධාංගනාව.
4. බිංදුව ; බිඳ.

සිදත

1. නා.ප්‍ර. සිද්ධාන්තය ; සාධක දැක්වීමෙන් ස්ථිර කළ මතය ; සත්‍ය වූ නිගමනය.
2. චිත්ත ඒකාග්‍රතාව ; සමාධිය.

සිදඹුව

නා. සිද්ධාංගනාව ; සිද්ධ දේවතාවිය.

සිද්

නා.ප්‍ර. ඉටුවීම ; සිද්ධ වීම.

සිද්ද පත්තිනි

නා.ප්‍ර. යහපත ගෙන දෙන පත්තිනි දෙවඟන.

සිද්ධ

1. වි. සිදු වූ ; ඉෂ්ට වූ.
2. නිපන් ; හටගත්.
3. නිශ්චිත ; තීරණය කළ.
4. සැබෑ යයි පිළිගනු ලැබූ.
5. ජය ලැබූ.
6. ඍද්ධිමත්.
7. ප්‍රසිද්ධ කීර්තිමත්
8. දීප්තිමත් : බබළන.
1. නා.ප්‍ර. දේව කොට්ඨාසයක්.
2. ලුණු වර්ගයක නාමය.
3. සීනි. කළුඅත්තන.

සිද්ධ ක්ෂේත්‍ර

1. නා.ප්‍ර. පුණ්‍ය වූ භූමිය ; ශුද්ධ භූමිය.
2. ඍෂීන් වාසය කරන ස්ථානය.
3. සිද්ධ නම් දේවතා කොට්ඨාසය වසන ප්‍රදේශය.

සිද්ධ ධාතු

නා.ප්‍ර. රසදිය.

සිද්ධ යකඩ

නා.ප්‍ර. කාබන් අංශු මාත්‍රයක් පමණක් සමඟ මිශ්‍ර වූ යකඩ.

සිද්ධ ස්ථානය

නා. පූජනීය ස්ථානය ; පුණ්‍ය භූමිය.

සිද්ධම්

අව්‍ය. ‛යහපතක් වේවා' යන අරුතින් ලේඛනයක ආරම්භයේ යොදන ආශීර්වාද පදයක්.

සිද්ධාඞ්ගනාව

නා. සිද්ධ නම් දේවතා කොට්ඨාසයට අයත් දෙවඟන.

සිද්ධාන්තය

නා. සාධක ආදිය දැක්වීමෙන් ස්ථිර කළ මතය ; සත්‍ය වූ නිගමනය.

සිද්ධාර්ථ

වි. වැඩක් සිදුවන ; යහපතක් වන.
1. නා.ප්‍ර. සූවිසි බුදුරජාණන් වහන්සේලා අතුරින් එක් බුදුවරයකුගේ නාමය.
2. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි නාමය.