සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1827

සීසභාර

නා.ප්‍ර. හිසින් ගෙන යන බර.

සීසර

නා.ප්‍ර. සිංහයකුගේ නාදය ; සිංහ ගර්ජනාව.

සීසියක්කන

(කථා.) නා.ප්‍ර. නොයෙක් තැන ; එහෙ මෙහෙ ; අතන මෙතන ; පළාතක් පුරා ම.

සීසීකඩ

ක්‍රි.වි. කැඩී බිඳී ; එහෙ මෙහෙ.

සීහ

නා.ප්‍ර. සිංහයා.

සීහපඤ්ජරය

නා. සිංහරූපාකාර කවුළුව ; ප්‍රධාන කවුළුව.

සීහසමානක්කමතා

නා.ප්‍ර. සිංහයකු මෙන් පියවර තබන බව ; බුදුරජාණන් වහන්සේගේ සිරුරේ පිහිටි අනුව්‍යංජන අසූවෙන් එකක්.

සීහසුන්

නා.ප්‍ර. සිහසුන ; සිංහාසනය.

සීහහනු

1. නා.ප්‍ර. සිංහයාගේ හණුව.
2. සිංහයකුගේ මෙන් පරිපූර්ණ හනු ඇති බව ; බුදුන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් එකක්.

සීහළදීපය

නා. සිංහල ද්වීපය ; හෙළදිව.

සීහළීයෝපසම්පදාව

නා. සිංහල දේශයට අයත් භික්ෂුවක විසින් කරනු ලබන උපසම්පදාව.

සීහායමාන

වි. සිංහයකු වැනි ; සිංහයකුට සමාන.

සීහාසනය

1. නා. සිංහාසනය.
2. මල් පුදන ආසනය.

සීහුං බලනවා

ක්‍රි. විවාහපේක්ෂක යුවලකගේ කේන්ද්‍ර ගැළපේදැ යි පරීක්ෂා කරනවා.

සීහුම

නා. ගැලපීම ; සමානවීම.

සීහුම් වෙනවා

ක්‍රි. ගැළපෙනවා ; සමාන වෙනවා.

සීහෙනවා

1. ක්‍රි. ගැළපෙනවා.
2. ප්‍රමාණවත් වෙනවා ; සෑහෙනවා.

සුං

1. නා.ප්‍ර. කුඩා දෙය ; පුංචි දෙය.
2. වැසියන්ගෙන් රජයට ලබාගන්නා බද්ද ; අය බද්ද ; සුංකය.
1. වි. කැඩුණු ; කුඩු කරන ලද ; පොඩි කරන ලද.
2. ශූන්‍ය ; හිස්.

සුංකම

නා. පුරාණයේ දී රජුන් විසින් වැසියන්ගෙන් අයකරන ලද බද්දක නාමය.

සුංකරනවා

(කථා.) ක්‍රි. පොඩි කරනවා ; කුඩු කරනවා ; විනාශ කරනවා.

සුංබරය

නා. හිසේ බඳින රෙදිකඩ ; ජටාව ; තලප්පාව.

සුංමස්

නා.ප්‍ර. ඉතා සිහින් මස් කැබලි.

සුංසුමාර

නා.ප්‍ර. ජලයේ වෙසෙන උරග ගෝත්‍රිකයකගේ නාමය ; කිඹුලා.

සුකර

වි. දුෂ්කර නොවූ ; කිරීමට පහසු.