සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1854

සෙක්කල්

නා.ප්‍ර. සන්ධ්‍යාවේ අවසාන භාගය.

සෙක්කල් යනවා

(කථා.) ක්‍රි. සැන්දෑ කාලයේ මුහුදු යනවා.

සෙක්කුව

නා. තෙල් සිඳීමට භාවිත කරන පැරණි යන්ත්‍ර විශේෂයක්.

සෙගජ

නා.ප්‍ර. සුදු ඇතා.

සෙට

වි. උතුම් ; ශ්‍රේෂ්ඨ ; ප්‍රධාන.
1. නා.ප්‍ර. ශ්‍රේෂ්ඨයා ; ප්‍රධානයා.
2. හෙට දිනය.

සෙට්ඨි

1. නා.ප්‍ර. සිටුවරයා ; ධනවතා.
2. වෙළඳ ශ්‍රේණියක ප්‍රධානියා.

සෙණ

නා.ප්‍ර. හෙණය ; අසනිය ; අකුණ.

සෙණ මඬල

නා. මණ්ඩලාකාර අසනිය ; කවාකාරව පෙනෙන අකුණු සැරය.

සෙණභය

නා.ප්‍ර. හෙණ ගැසීමෙන් වන බිය.

සෙණ්ඩුලු මළුව

නා. රජ ගෙයි මිදුල.

සෙණ්ඩුලුව

නා. රජගෙයි මහ මිදුල ; රාජාඞ්ගනය.

සෙත

1. නා. ශාන්තිය ; සැපය ; ආශිර්වාදය.
2. මඞ්ගල්‍යය ; ප්‍රීති උත්සවය.
3. වාසිය ; ලාභය.

සෙත සලසනවා

ක්‍රි. සැපත සාදනවා ; යහපත ඇති කරනවා.

සෙතක විශ්වාස

නා.ප්‍ර. (නීති.) අර්ථලාභිත්වය ; භාරකරුවකු අතට පවරන ලද ඉඩම් ආදියකින් ආදායම් අපේක්ෂා කිරීම හෝ එහි ආදායම් ලැබීම.

සෙතදා

වි. ශාන්තිය දෙන්නා වූ ; සුවදායක.

සෙතබිසෙව්

නා.ප්‍ර. ශාන්ති අභිෂේකය ; ශුභාශීර්වාදය.

සෙත්

1. නා.ප්‍ර. ශාන්තිය.
2. ශක්තිය.

සෙත් කවි

නා.ප්‍ර. යහපත, ආරක්ෂාව, ජය ආදිය අපේක්ෂාවෙන් දෙවියන් අයදීම සඳහා රචනා කොට ගායනා කරනු ලබන පද්‍ය.

සෙත් දෙනවා

ක්‍රි. යහපත සලසනවා ; ශාන්තිය දානය කරනවා.

සෙත් පිරිස

නා. ශාන්තිය පතා සජ්ඣායනා කරනු ලබන පිරිත.

සෙත් ශාන්තිය

නා. සුවය හා සෙත පතා නොයෙක් දෙවි-දේවතාවුන් වෙත පුද පූජා පවත්වා කරන යාග කර්මය.

සෙත්දැල

නා.ප්‍ර. (ධීව.) මසුන් ඇල්ලීම සඳහා සවසට වට කරන දැල.

සෙත්පුර

නා. ශාන්තිපුරය ; නිර්වාණය සම්බන්ධයෙන් යෙදේ.

සෙත්මඟ

නා. ශාන්ති මාර්ගය ; සසරින් එතෙර වී ලෝකෝත්තර ශාන්තිය හෙවත් නිවන කරා යන මාවත.