සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 210

ආචාර ශික්ෂාව

නා. යහපත් ආචාරයෙහි පුහුණුවීම.

ආචාරය

1. නා. හැසිරීම; පැවැත්ම.
2. නා. නමස්කාරය; අභිවාදනය.

ආචාරසමාචාරය

1. නා. හැසිරීම සහ පැවැත්ම.
2. නා. ආචාරය; ගෞරව දැක්වීම; පිළිගැනීම.

ආචාර්ය

1. නා.ප්‍ර. උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා.ප්‍ර. විශ්වවිද්‍යාලයවලින් පිරිනමනු ලබන උසස් උපාධියක්.

ආචාර්ය මුෂ්ටිය

නා. ගුරුවරයා තම අතෙහි ම ආරක්ෂා කොට තබා ගන්නා සේ විශ්වාස කරනු ලබන ශාස්ත්‍ර සාරය; ගුරු මුෂ්ටිය.

ආචාර්යයා

1. නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා. විශ්වවිද්‍යාලයීය ආචාර්ය උපාධියක් දරන්නා.

ආචාරිභාගය

නා. ශිල්ප ඉගැන්වූ ගුරුවරයාට දිය යුතු පුද පඬුරු; ගුරුපඬුරු.

ආචාරියා

1. නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා. ආචරියා; ලෝකුරුවා.

ආචික්ඛනය

නා. කීම; ප්‍රකාශය.

ආචිත

වි. රැස් කළ; ගොඩ ගැසූ.

ආචීර්ණ

වි. පුරුදු කළ; පුහුණු කළ.

ආචීර්ණ කල්පිත

වි. ඉපැරණි සම්ප්‍රදායට අයත්; පැරණි සම්ප්‍රදායෙහි එල්බ ගත්; යල් පිනූ.

ආචූෂණය

නා. උරා ගැනීම; ඉරීම.

ආජ්‍ය

නා.ප්‍ර. ගිතෙල්.

ආජානනය

නා. දැනගැනීම; අවබෝධය.

ආජානීය

වි. උසස් වර්ගයෙහි උපන්; ශ්‍රේෂ්ඨ ජන්ම ඇති.

ආජානේයයා

නා. උසස් වර්ගයේ උපන්, ශ්‍රේෂ්ඨ ජන්ම ඇති අශ්වයා; ආජානීය අශ්වයා.

ආජීව අෂ්ටමක ශීලය

නා. යහපත් දිවි පෙවෙත අටවැනි කොට ඇති ශීලය; පංචශීලයට අමතර ව කේළාම් කීම, පරුෂ වචන කීම හා සම්පප්‍රලාප ආදියෙන් වැළකී ආරක්ෂා කරගනු ලබන ශීලය.

ආජීව පාරිශුද්ධිය

නා. දිවිපෙවෙතෙහි පිරිසිදු බව හෙවත් නිරවද්‍ය භාවය.

ආජීව විපත්තිය

නා. (විනය.) නිවැරදි දිවිපෙවෙතින් පිරිහීම; වැරදි වූ ආජීවය.

ආජීව සම්පදාව

නා. නිවැරදි දිවිපෙවෙත නමැති සම්පත; යහපත් දිවිපැවැත්ම.

ආජීවකයා

නා. පුරාණ පරිබ්‍රාජක පිරිසක්.

ආජීවය

නා. දිවිපැවැත්ම; ජීවිකාව.

ආජීවිකාව

නා. ජීවිකාව ගෙන යෑම; ජීවිකා වෘත්තිය.