සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 209

ආඝර්ෂණය

නා. ඇතිල්ලීම; ගැටීම.

ආඝ්‍රාණ ඉන්ද්‍රිය

(පාරිභා.) නා.ප්‍ර. ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය (=olfactory organ).

ආඝ්‍රාණය

නා. ගඳ සුවඳ දැනීම හා බැලීම; ඉව ඇල්ලීම.

ආඝාත වස්තුව

නා. ක්‍රෝධය ඉපදීමට ආධාර වන කාරණාව.

ආඝාතය

1. නා. පහර දීම.
2. නා. ලේ කැටි ගැසීමෙන් ඇති වන ශාරීරික ආබාධයක්; අංශභාගය.
3. නා. ක්‍රෝධය; වෛරය; ද්වේෂය.

ආඞ්ගික

වි. අංග හා සම්බන්ධ.

ආඞ්ගික අභිනය

නා. රංගන කලාවෙහි ශරීර අංග චලනයෙන් පානා ඉඟිය.

ආඟිරි ගහනවා

1. ක්‍රි. හරක් කෑගසනවා; තප්පුලනවා.
2. ක්‍රි. වේදනාවෙන් හෝ ශෝකයෙන් කෙඳිරි ගානවා; අඬනවා.

ආචක්ෂණය

නා. කීම; ප්‍රකාශය.

ආචමනය

නා. දියෙන් කට සේදීම; දෝතින් පැන් මුඛයට ගෙන සොලවා ඉවත දැමීම හෝ බීම.

ආචය

නා.ප්‍ර. රැස් කිරීම.

ආචරණය

නා. හැසිරීම; පිළිපැදීම; පුරුදු කිරීම; පැවැත්ම.

ආචරිත

වි. පුරුදු කරන ලද; පිළිපදින ලද.

ආචරිය

නා.ප්‍ර. ආචාර්යවරයා; ගුරුවරයා.

ආචරියවත්

නා.ප්‍ර. ගුරුවරයාට කළමනා වතාවත්; ආචාර්යෝපස්ථාන.

ආචරියා

(කථා.) නා. කම්මල්කාරයා; ලෝකුරුවා.

ආච්චි

1. නා.ප්‍ර. මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය.
2. නා.ප්‍ර. මහලු ස්ත්‍රිය.
3. නා.ප්‍ර. ද්‍රවිඩ හෝ මුස්ලිම් ස්ත්‍රිය.

ආච්ඡන්න

වි. වැසුණු.

ආච්ඡාදක

වි. ආවරණය කරන; වසන; සඟවන.

ආචාම

නා.ප්‍ර. බතෙන් පෙරූ දිය; කැඳ වතුර.

ආචාමනීය

වි. පානය කළ යුතු.

ආචාර උපචාරය

නා. ආදර ගෞරවය.

ආචාර කුලපුත්‍රයා

නා. යහපත් හැසිරීමෙන් යුත් තැනැත්තා; ආචාරසම්පන්නයා.

ආචාර ගුණය

නා. යහපත් හැසිරීම නමැති ගුණය.