සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 212

ආඪ්‍ය

වි. සමෘද්ධ; ධනවත්; සෞභාග්‍යසම්පන්න; පරිපූර්ණ.

ආණ

ප්‍රත්‍ය. ඇතැම් පුරුෂාර්ථවාචී ශබ්ද හා යෙදෙන ගෞරවාර්ථ ප්‍රත්‍යයක්;- උදා. කෙළෙඹියාණ; මිත්‍රයාණ.

ආණත්තිය

නා. අණ කිරීම; ඇණවීම; අණ; ආඥාව; නියෝගය.

ආණම

නා. ඉස්ම ඇති උකු හොද්ද.

ආණ්ඩ

වි. බිජුවටින් උපන්.

ආණ්ඩු ඔප්පුව

නා. ආණ්ඩුවෙන් දෙන ලද ඔප්පුව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

නා. රාජ්‍යයක පාලනය සංවිධානය කර ඇති ආකාරයත් එය ක්‍රියාත්මක කළ යුතු ආකාරයත් දක්වන සංවිධාන රටාව.

ආණ්ඩුක්‍රමය

නා. රටක් පාලනය කරන ක්‍රමය; පාලන තන්ත්‍රය.

ආණ්ඩුකාරයා

1. නා. රටක් හෝ නීත්‍යනුකූල ව වෙන් කළ ප්‍රදේශයක් පාලනය කරන තැනැත්තා.
2. නා. රජු හෝ ජනාධිපති හෝ නියෝජනය කරන තැනැත්තා.

ආණ්ඩුව

නා. පාලනය; ආධිපත්‍යය; (රටක) පාලන මණ්ඩලය; රජය.

ආණා

නා.ප්‍ර. ආඥාව; නියෝගය; විධානය.

ආණාපකයා

1. නා. නියෝගය කරන්නා.
2. නා. නියෝග ප්‍රකාශ කරන නිලධාරියා.

ආණාපනය

නා. ඇණවීම; අණ කිරීම; නියමය.

ආණිකට්ටුව

(කථා.) නා. ජලාශයක් හරහා බඳින වේල්ල; අමුණ.

ආඬි

නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ විශේෂයෙන් තෙලිඟු ප්‍රදේශයේ ජීවත් වන මනුෂ්‍ය කොට්ඨාසය.

ආඬියා

නා. බර එසවීමට හෝ පතල් ළිං ආදියෙන් දිය ඇදීමට හෝ යොදනු ලබන ලීවරය; ආඬිමානය.

ආතඞ්ක

1. නා.ප්‍ර. ව්‍යාධිය; රෝගය.
2. නා.ප්‍ර. භය; චිත්ත පීඩාව.

ආතත

1. නා.ප්‍ර. පඤ්චතූර්ය අතරින් එකක් වන එකැස් බෙරය.
2. නා.ප්‍ර. ඇද ගැනීම; ඇදීම (= tension).

ආතතවිතත

නා.ප්‍ර. පඤ්චතූර්ය අතරින් එකක් වූ ද, හාත්පසින් සමින් වෙළන ලද්දා වූ ද බෙර විශේෂය.

ආතතිය

1. (පාරිභා.) නා. අදින බලය; තන්‍යතාව (=tension).
2. නා. නොඉවසුම් ස්වභාවය; හිතේ චංචල බව.
3. නා. කිසියම් අභිමතාර්ථයකට එල්ල වූ චර්යාවකට බාධා පැමිණීමෙන් හෝ අසංතෘප්ත භාවය නිසා සිතෙහි ඇතිවන ආවේගීය තත්ත්වය (=tension).

ආතන්‍ය

(පාරිභා.) වි. ඇදෙනසුලු; ඇදිය හැකි (=tensile).

ආතප ආඝාතය

(පාරිභා.) නා. බොහෝ වේලා අව්වේ සිටීමෙන් ඇති වන විසංඥතාව; සූර්යඝාතය (=sunstroke).

ආතප වාරණය

නා. අවු අත්ත; කුඩය; ඡත්‍රය.

ආතපඝර

(පාරිභා.) නා.ප්‍ර. යහපත් වාතාශ්‍රය ඇති වන පරිදි එළිමහනෙහි තනන ලද කුඩා ගේ හෝ පැල.