සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 24

අග්‍රසේනාධිපති

නා.ප්‍ර. ප්‍රධාන සෙන්පතියා; අග සෙනෙවියා.

අග්‍රහාරය

නා. (රජුන්) බමුණන්ට පුදන ලද ගම්වරය; බමුණන්ට ප්‍රවේණි කොට දුන් කෙත්වතු ආදිය; අගහර.

අග්‍රාංකුරය

නා. මුදුනේ ඇති දලුව; අක් දලුව.

අග්‍රාංගුලිය

[අග්‍ර + අංගුලිය]
නා. ඇඟිල්ලෙහි කෙළවර; ඇඟිලි අග.

අග්‍රාණ්ඩුකාරයා

[අග්‍ර + ආණ්ඩුකාරයා]
නා. ඩොමිනියන් රාජ්‍යයක ප්‍රධානයා.

අග්‍රාභරණය

[අග්‍ර + ආභරණය]
නා. අගනා පලඳනාව.

අග්‍රාභිමුඛ

(පාරිභා.) වි. අග්‍රය පැත්තට හැරුණු (=acroscopic).

අග්‍රාභිසාරී

(පාරිභා.) වි. ශාකයක වැඩිමහල් අවයව පාදය අසල ද බාල ඒවා අග්‍රය අසල ද සිටින පරිදි අනුක්‍රමයෙන් අවයව විකසනය වන (=acropetal).

අග්‍රාම්‍ය

1. වි. ගමෙහි නොවූ; පිටිසර නොවූ; නාගරික.
2. වි. අශිෂ්ට; ග්‍රාම්‍ය නොවූ.

අග්‍රාමාත්‍යයා

[අග්‍ර + අමාත්‍යයා]
නා. අමාත්‍ය මණ්ඩල ප්‍රධානයා; අගමැතිවරයා.

අග්‍රාසනය

[අග්‍ර + ආසනය]
නා. මුල් අසුන; ප්‍රධාන ආසනය.

අග්‍රිම

1. වි. අග්‍ර; ජ්‍යෙෂ්ඨ; උත්තම
2. වි. කෙළවරෙහි වූ; අග.

අග්‍රිම ක්‍රමය

(පාරිභා.) නා. සුළු වියදම් සඳහා එක්තරා මුදල් ප්‍රමාණයක් ලබා ගෙන සුළු වියදම් පිළිබඳ ව ගණන් තැබීමේ ක්‍රමය; කල් තබා කරන ගෙවීම් පිළිවෙළ (=imprest system).

අග්‍රිමය

1. (පාරිභා.) නා. සුළු වියදම් සඳහා ලබා ගත් මුදල්; කල් තබා කළ ගෙවීම; අත්තිකාරම් මුදල (=imprest).
2. නා. කෘමීන්ගේ මුඛය ඉදිරිපස පෙදෙස (=acron).

අග්‍රේශයා

(පාරිභා.) නා. මිනිසා, වඳුරා ආදින් ඇතුළත් ක්ෂීරපායී සත්ත්වයන්ගේ උසස්තම ගෝත්‍රය; ප්‍රීමාටේ ගෝත්‍රය (=primate).

අග්‍රෝදකය

[අග්‍ර + උදකය]
1. නා. දක්ෂිණාර්හයන් හෙවත් දන් ලබන්නන් වෙත පළමු ව පිරිනැමෙන පැන් බඳුන.
2. නා. නොඉඳුල් දිය; පරිභෝග නොකළ ජලය.

අග්‍රෝපස්ථානය

[අග්‍ර + උපස්ථානය]
නා. උසස් සත්කාරය; උතුම් උවටැන.

අග්‍රෝපස්ථායකයා

[අග්‍ර + උපස්ථායකයා]
නා. උපස්ථාන කරන්නන් අතුරෙන් ප්‍රධානයා.

අග්‍රෝපස්ථායිකාව

නා. උපස්ථාන කරන්නවුන් අතුරෙන් අගතැන්පත් තැනැත්තිය.

අග්‍රෝපාසිකාව

[අග්‍ර + උපාසිකාව]
නා. තෙරුවන් සරණ ගිය කාන්තාවන් අතුරෙන් ප්‍රධාන වූ තැනැත්තිය; බුදු සසුනෙහි සැදැහැවත් උවැසියන් අතර ප්‍රධාන කාන්තාව.

අගාතය

නා. තද කෝපය; අඝාතය.

අගාධ

වි. ඉතා ගැඹුරු; පතුල නොපෙනෙන.
නා.ප්‍ර. ඉතා ගැඹුරු ස්ථානය; පත්ල නොපෙනෙන තරම් ගැඹුරු වළ.

අගාධ ගොහොරුව

(පාරිභා.) නා. මුහුදු පත්ලෙහි ඉතා ගැඹුරු ප්‍රදේශයක් වසා පැතිර පවත්නා ගොහොරු ද්‍රව්‍ය තැන්පතුව; ආගාධ නිධිය(=abyss deposit).

අගාධ ගෝලය

(පාරිභා.) නා. අන්තර් ගෝලය (= bathysphere).