සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 25

අගාධ තැන්න

(පාරිභා.) නා. ගැඹුරු මුහුදුතැන්න; සාගර පත්ලෙන් තුනෙන් දෙකක් පමණ වසා සිටින ගැඹුරු ප්‍රදේශය (= deep sea plain).

අගාධ ප්‍රපාතය

නා. ඉතා ගැඹුරු පල්ලම; පතුල නොපෙනෙන බෑවුම; පර්වත ප්‍රාන්තය.

අගාධ පාෂාණ

(පාරිභා.) නා.බහු. පෘථිවි කබලෙහි ඉතා ගැඹුරෙහි ඝනීභූත ව පවත්නා ආග්නේය පාෂාණ (=abyssal rocks).

අගාධ භීතිකාව

(පාරිභා.) නා. ගැඹුරක් දැකීමෙන් ඇති වන බිය (=bathophobia).

අගාධ මනෝවිද්‍යාව

(පාරිභා.) නා. අවිඥානක මානසික ක්‍රියාවලි විස්තර කරන මනෝවිද්‍යාව (= depth psychology).

අගාධ මානය

(පාරිභා.) නා. ජලයෙහි ගැඹුර මැනීම සඳහා භාවිත කරන උපකරණය (=bathymeter).

අගාධය

1. (පාරිභා.) නා. ඉතා ගැඹුරු ආවාටය.
2. නා. සාගරයේ ගැඹුරු ම කොටස.

අගානිගාව

1. නා. අපහාසය; අවමානය; නිගාව.
2. නා. අගහිඟය; නැතිබැරිකම.

අගාර කුඹුර

නා. ඇළ දොළ ආදියෙන් වතුර නොලැබෙන කුඹුර; ඕබඩ නොපිහිටි කුඹුර; දෙණි කුඹුර.

අගාර විනය

නා. ගිහියන්ගේ හික්මීම සඳහා බුදුරදුන් දේශනා කළ දහම; ගිහි විනය.

අගාරක

වි. ගිහි වූ; පැවිදි නොවූ; ගෘහස්ථ.

අගාරය

1. නා. ගෙය; කුටිය; ගෘහය.
2. නා. ගිහිගෙය.
3. නා. උස්බිම් දෙකක් අතර පිහිටි කුඹුර හෝ දෙණිය.
4. නා. ජලය රඳා සිටින පහත් බිම.
5. නා. වතුර බැස යන ඇළ; පිට ඇළ.

අගාරික

වි. ගිහි; ගෘහස්ථ; ගෘහවාසී.
නා.ප්‍ර. ගිහියා; පැවිදි නොවූ පුද්ගලයා; ගෘහපතියා.

අගාරිකයා

වි. ගිහි ජීවිතය හා සම්බන්ධ; ගිහියන්ට අයත්; ගිහිගෙයි වසන.

අගාරිය

වි. ගිහි ජීවිතය හා සම්බන්ධ; ගිහියන්ට අයත්; ගිහිගෙයි වසන.

අගාරෙ අරිනවා

ක්‍රි. ඉවත ගලා යන්ට අරිනවා; අහක අරිනවා; අපතේ හරිනවා.

අගාලුව

(පාරිභා.) නා. දොරුවක හැඩය ඇති වන සේ පස් කපා ඉවත් කිරීමේ දී දෙපැත්තෙහි ඉතිරි වන පස් කණ්ඩිය (=balk).

අගිනවා

ක්‍රි. මිල වෙනවා; වටිනාකම දරනවා.

අගියාව

(කථා.) නා. අදි-මදි කිරීම; ඇළි-මැළි කිරීම; පසුබට වීම; පැකිළීම.

අගිරි ගානවා

(කථා.) ක්‍රි. වේදනාවෙන්, ශෝකයෙන් කෙඳිරි ගානවා; බැගෑ හඬ නගනවා.

අගිස්ස

නා. අග කොන; මුදුන් හෝ අග කෙළවර.

අගිස්සනවා

(කථා.) ක්‍රි. යමකුගේ බසෙහි සැබෑ-බොරුබව අන්‍යයකුගෙන් විමසා බලනවා; ඇත්ත නැත්ත විමසනවා; හගිස්සනවා.

අගු කවනවා

(කථා.) ක්‍රි. පිඳුරු, බටකොළ ආදිය සෙවිලි කළ වහලක දිරා ගිය කොටස් ඉවත් කොට අලුතින් ඒ තැන් හෙවිලි කරනවා.

අගු කොන

නා. අගු කෙළවර; පිළිකන්න.