සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 26

අගු පත

1. නා. ගෙයි පිටිපස; අගුව; පිළිකන්න.
2. නා. කුඹුරකින් පිටට නෙරා ගිය ලියදි කැබැල්ල.

අගු පීල්ල

නා. වහළ කෙළවරින් වැටෙන වැහි ජලය බැස යෑම සඳහා සවි කර ඇති පිහිල්ල.

අගු බලනවා

ක්‍රි. රජුට පිළියෙල කරන ලද භෝජන ඉඳුල් කොට පරීක්ෂා කර බලනවා.

අගු වඩනවා

ක්‍රි. අගය වැඩි කොට දක්වනවා.

අගුණ

වි. ගුණ නැති; අහිත.
නා.ප්‍ර. දොස; වරද; නුගුණය.

අගුරු

වි. බර නොවූ; බරපතල නොවූ; සැහැල්ලු.

අගුල් කණුව

නා. අගුළ සවි වන කණුව; අගුළ දමන කණුව; අගුළ වැටීමට උළුවස්සේ සවි කළ කණුව.

අගුල් තට්ටුව

1. නා. ලීවලින් කළ යතුරු කූඩුව; දෙපියන් දොරක සවි කළ කුට්ටම් අගුළ.
2. නා. හංවඩු සටහනක්; විහාර ගම්වල ගවයන් ගේ පිටෙහි හංවඩු ගසන අඩයාළම.

අගුල්පත්

නා.ප්‍ර. බණ දෙසුමක් හෝ වෙනත් දෙසුමක් කරන විට දෙන ප්‍රතිවචනය; පිළිවදන.

අගුව

1. නා. ගෙයක පියසි අගින් වැසෙන බිම් කොටස.
2. නා. ගෙට යාබද බිම; ගෙමිදුල.
3. නා. අන්තය.

අගුළ

නා. දොර වසා, ඇරීමට නොහැකි වන සේ ඇතුළතින් යොදන හරස් ලීය; දොර වසා අවුළුවන ලී කැබැල්ල; ලීයෙන් හෝ ලෝහයෙන් හෝ තනා දොරේ සවි කළ ඇරෙන වැහෙන දිවත.

අගුළු ඉද්ද

නා. දොරක අගුළක් සේ අරින වහන පොල්ල; අගුළු පෙත්ත මැද විද දමන කූර; ඉදි අගුළ.

අගෘහීත

වි. නොගත්; නොගන්නා ලද.

අගොස

(ව්‍යාක.) නා. අඝෝෂාක්ෂරය; සිංහල හෝඩියේ එක් එක් වර්ගයේ පළමුවන, දෙවන අකුරු හා ශ,ෂ,ස, (අ) යන අකුරු.

අගෝචර

1. වි. නුසුදුසු වු; නොගැළපෙන.
2. වි. විෂය නොවූ; ප්‍රත්‍යක්ෂ නොවූ.
3. නා.ප්‍ර. නුසුදුසු දෙය; නොගැළපෙන්න.
4. නා.ප්‍ර. විෂය නොවන දෙය; ප්‍රත්‍යක්ෂ නොවූව.
5. නා.ප්‍ර. නුසුදුසු තැන; අගෝචර ස්ථානය.

අගෝර

(කථා.) වි. නුසුදුසු; නොනිසි; අනියම්.

අගෝස

වි. ඝෝෂා රහිත; නින්නාදවත් නොවන.

අගෝස්තු

නා.ප්‍ර. ඉංග්‍රීසි මාස ක්‍රමය අනුව අට වන මාසය

අගෞරවය

නා. ගරු නොකිරීම; බුහුමන් නොකිරීම; නිගරුව.

අඝ

1. නා.ප්‍ර. දුක; ගැහැට; ව්‍යසනය; දෝෂය.
2. නා.ප්‍ර. පව; පාපය; අකුසලය.
3. නා.ප්‍ර. ආකාශය, අහස, ගුවන.

අඝටිත

වි. නොබැඳුණු; නොගැළපුණු; නොයෙදුණු; වෙන් වූ.

අඝමූල

වි. දුකට මුල් වන; දුකට හේතු වන; පාපයට මුල් වන.

අඝර්ෂ

වි. ගැටීමෙන් තොර; නොගැටුණු.

අඝාත වස්තුව

නා. ක්‍රෝධය ඉපදීමට හේතු වන කාරණාව.